අන්තවාදීන්ගේ පුහුණු කඳවුරු කිහිපයක් වටලයි

මැයි 08, 2019

අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් තම පුහුණු කටයුතු සඳහා භාවිතා කල බවට සැකකෙරෙන වාලච්චේන පොලිස් කොට්ඨාසයේ රිදීතැන්න ප්‍රදේශයේ අක්කර 25 ක පමණ භූමි ප්‍රදේශයක සඳුදා (මැයි 06) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව සෝදිසි මෙහෙයුමක් දියත්කරන ලදී.

මෙම ඉඩමෙහි හිමිකරු වාලච්චේන පොලීසිය විසින් අප්‍රේල් 23 දා බෝම්බ ප්‍රහාරයෙන් පසුව අත් අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත. මෙම සැකකරුගෙන් සිදුකල ප්‍රශ්නකිරීම් වලින් පසු අදාළ සෝදිසි මෙහෙයුම සිදුකරන ලදී. මෙම ඉඩමෙහි තිබී ජෙලිග්නයිට් කූරු 231 ක්, යතුරු පැදියක් සහ තවත් භාණ්ඩ රැසක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා විසින් අඟහරුවාදා දින කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කරන ලදී.

ශ්‍රී ලංකා පොලිසිය සහ යුද්ධ හමුදාව එක්ව නුවරඑළිය බ්ලැක්ෆුල් හි පිහිටි නිවාඩු නිකේතනයක් සඳුදා (මැයි 06) දින වටලන ලදී. අන්තවාදීන් විසින් මෙම ස්ථානය පුහුණු කටයුතු සඳහා භාවිතා කර ඇති බවට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකරන ලදී. අදාළ වැටලීමේ දී මෙම නිවාඩු නිකේතනයේ කළමනාකරු ද අත්අඩංගුවට ගෙන ඇත.

පණිවුඩ හුවමාරු යන්ත්‍ර වලට බාධා ඇතිකරවන උපකරණ 08 ක් සමග පුද්ගලයෙකු මීගමුවේ ලසාරාස් මාවතෙන් අත්අඩංගුවට ගනු ලැබීය. පොලිසිය විසින් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

තමන්ගේ බෑග්, ගමන් මලු හෝ පාර්සල් පිළිබඳව නිසි අවධානය යොමු කරන ලෙසත් අතපසුවීමකින් ඒවා මග දමා නොයන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර එමගින් පොදු ජනතාව තුල අනවශ්‍ය බියක් ඇතිවනවා මෙන්ම ආරක්ෂක අංශ ද අපහසුතාවයට පත් වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උපදෙස් මත, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අප්‍රේල් 21 දින සිදුවූ පිපිරීමෙන් පසු ශ්‍රී ලංකා ගුවන් කලාපය තුල ඩ්‍රෝන් යානා සහ මිනිසුන් රහිත ගුවන් යානා මෙහෙයුම් තහනම් කර තිබේ. මෙම තහනම නැවත දැනුම්දෙන තුරු බලපැවැත්වේ. එවැනි ඩ්‍රෝන් යානා සහ මිනිසුන් රහිත ගුවන් යානා ධාවනය කරවීම දැනට පවතින තත්ත්වය අනුව ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අතර ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා සිදුකරන මෙහෙයුම් සඳහා ද භාධාවකි. මෙවැනි යානා ශ්‍රී ලංකා ගුවන් කලාපය තුල ක්‍රියාත්මක වෙනවාදැයි සෙවීමට දිවයින පුරා විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. මෙවැනි යානා ක්‍රියාත්මක කර අසුවුන හොත් නීතියෙන් උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනවිරත්න මහතා අඟහරුවාදා (මැයි 07) දින කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී පැවැසීය.