මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා තවදුරටත් සහාය ලබාදෙන බවට එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයෙන් ප්‍රතිඥා

දෙසැම්බර් 11, 2020

මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව අවධානය යොමුකර  එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) සිය උපරිම සහයෝගය ලබාදෙමින් ඇමරිකානු ඩොලර් 100,000 ක ආධාරයක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශයේ දී අද (දෙසැම්බර් 11) පොරොන්දු විය.   

ඒ අනුව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයෙහි ප්‍රධානී ට්‍රොඑල්ස් වෙස්ටර් මහතා සහ එහි ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී ඇලන් කෝල් මහතා ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සමඟ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී ඔවුන්ගේ කැපවීම අගය කළේය.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ මෙම ආධාරය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ජාතික අන්තරායකර  ඖෂධ පාලන මණ්ඩලය හරහා මෙහෙයවන රජයේ පුනරුත්ථාපන කටයුතු සඳහා යටිතල පහසුකම් සංවර්ධනයට යෙදවීම සඳහා වේ.

නිට්ටඹුවේ  ‘නව දිගන්තය’ නමින් ඉදිකරමින් පවතින අංග සම්පූර්ණ පුනරුත්ථාපන මධස්ථානය සඳහා මීට පෙරද එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලය  ඇමරිකානු ඩොලර් 150 ,000 ක ආධාරයක් ලබාදී තිබේ.

‘නව දිගන්තය’ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් පුනරුත්ථාපනය කිරීම සඳහා යොදා ගැනීමට අදහස් කරන අතර මේ වනවිට එහි ඉදිකිරීම් සිදුවෙමින් පවතී.

තවද, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම ඇතුළු  අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරැණු රැසක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ නිලධාරීන් ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කරන ලදී.