දීඝවාපි ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනයට

දෙසැම්බර් 16, 2020

දීඝවාපි ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රගති සමාලෝචන රැස්වීමක් ආරක්ෂක අමාත්‍යාංශයේ දී අද (දෙසැම්බර් 16) උදෑසන පවත්වන ලදී.

ආරක්ෂක ලේකම් සහ නැගෙනහිර පළාතේ ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා රැස්වීමේ මුලසුන දැරීය.

මෙම සාකච්ඡාවේ දී ආරක්ෂක ලේකම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අදාළ මූලික අංශ හතරක් කෙරෙහි අවධානය යොමු කළේය. ඒ අනුව, මේ සඳහා සම්මත ගඩොල් නිෂ්පාදනය කිරීම, ‘සලපතළ මළුව’ ප්‍රතිසංස්කරණය, දාන ශාලාවක්  හා විශ්‍රාම ශාලාවක් ඉදිකිරීම  සහ අවට ප්‍රදේශයේ රුක් රෝපණය  හා  අලංකරණය යන කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති කාර්යයන්හි මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරිණි.

මහා සංඝරත්නය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, රියර් අද්මිරාල් (විශ්‍රාමික) යූ.අයි. සේරසිංහ, ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මිනින්දෝරු ජනරාල් ඒ.එල්.එස්.සී. පෙරේරා, ඉඩම් කොමසාරිස් ජෙනරාල් චන්ද්‍ර හේරත්, ජනාධිපති කාර්ය සාධක බළකායේ ලේකම් ජීවන්ති  සේනනායක, දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.