බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීම සහ ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය නිමා වේ

දෙසැම්බර් 17, 2020

දින තුනක් පුරා පැවති බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීම් සහ ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඊයේ (දෙසැම්බර් 16) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අවසන් විය.

සම්මන්ත්‍රණයේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රාජ්‍ය ආරක‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් සහ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහභාගී විය.

දෙසැම්බර් 14 වන දින ආරම්භ වූ සම්මන්ත්‍රණය සඳහා ආපදා කළමනාකරණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ දේශීය හා ජාත්‍යන්තර සංවිධාන, වෘත්තිකයන් ශාස්ත්‍රඥයින් විශාල පිරිසක් අන්තර්ජාලය  ඔස්සේ  සහභාගී වූහ.

එය ආරක්‍ෂක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානියේ හඩර්ස්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ ගෝලීය ආපදා ප්‍රතිරෝධීතා මධ්‍යස්ථානය, අනෙකුත් පාර්ශවකාර විශ්ව විද්‍යාල කිහිපයක්, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන, ජයිකා, ඒඩීපීසී සහ වෙනත් පාර්ශවකාර ආයතන සමඟ සහයෝගයෙන් පැවැත්විණි.

බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීම සහ ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ කොළඹ ප්‍රකාශය දෙසැම්බර් 16 වන දින සම්මත කර පාර්ශවකරුවන් අතර බෙදා හරින ලදි.

මෙම අවස්ථාවේදී, ආරක්ෂක ලේකම් විසින් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය කරන ලදි.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා ආරක්ෂක ලේකම් වෙත සමරු ඵලකයක් ද පිළිගැන්වීය.

සමාප්ති උළෙලට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ පොලීසිය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ නියෝජිතයින් ද සහභාගී විය.