අයගම නායයෑම් අවදානම අවම කිරිමේ ව්‍යාපෘතිය ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

දෙසැම්බර් 17, 2020

     •    ශ්‍රී ලංකාවේ ස්ථාන 147ක ආපදා අවදානම අවම කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 110ක ව්‍යාපෘති
     •    වසරක් තුළ අයගම ව්‍යාපෘතිය නිම කිරීමට පියවර

නිතර නායයෑමට ලක්වන අයගම ප්‍රදේශයට පැමිණි ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා නායයෑම් අවදානම අවම කිරීම සඳහා රුපියල් මිලියන 418 ක් වටිනා ව්‍යාපෘතිය ආරම්භ කරමින් අද (දෙසැම්බර් 17) දින එම ප්‍රදේශයේ නායයෑම් තර්ජනයට ලක්ව සිටින පුද්ගලයින් සඳහා නායයෑම් අවදානම අවම කරන බවට සහතික විය.

තවද, රත්නපුර ගලබොඩ ප්‍රදේශයේ වේවැල්වත්ත මාර්ගයේ කිලෝමීටර් 12 ක් ආවරණය වන පරිදි රුපියල් මිලියන 442 ක් වටිනා ව්‍යාපෘතියක් ද අද දින ආරම්භ කරන ලදි.

ආරක්‍ෂක ලේකම්වරයා සමඟ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලිනී ලොකුපොතගම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන, අයගම ප්‍රාදේශීය ලේකම්    නෙරංජන් ජයකොඩි සහ අනෙකුත් අදාළ රාජ්‍ය නිලධාරීන් විසින් අවදානමට ලක්විය හැකි ප්‍රදේශ දෙකම පරීක්‍ෂා කළහ.

ජාතික ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වශයෙන් මේජර් ජෙනරාල් ගුණරත්න මහතා මෙම සංචාරයේදී ව්‍යාපෘති දෙක නිම කිරීමට නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

2017 දී නායයෑම හේතුවෙන් අයගම නගරය දෙකට බෙදී ඇති අතර එමඟින් එම ප්‍රදේශයේ ජනතාවට විශාල දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවිය.

අගනුවරට කිලෝමීටර් 106 ක් ඈතින් පිහිටි කුඩා නගරයක් වන අයගම නාය යන බවට අනතුරු ඇඟවීමත් සමඟ එහි වැසියන් ඉවත්කර අයගම ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ නවාතැන් ලබා දෙන ලදි.

2017 මැයි මස සිදුවූ නාය යාමත් සමඟ විශාල පස් හා ගල් මාර්ගය වෙත වැටී මාර්ගයේ ගමනාගමනයට බාධා සිදුවූ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණානවර්ධන මහතා උත්සවය අමතමින් පැවසීය.    

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ආර්එම්එස් බණ්ඩාර සිය අරමුණු පැහැදිලි කරමින් කියා සිටියේ, “මෙලෙස අවම කිරීමේ පියවරයන් ක්‍රියාත්මක කිරීම, නායයෑම් අවදානම් කළමනාකරණය හා සම්බන්ධ ප්‍රතිපත්ති හා නියාමනය වැඩි දියුණු කිරීම තුළින් නායයෑම් වලින් සිදුවන අවදානම හා හානිය අවම කරනු ඇත” යනුවෙනි.

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි අයගමට නිරිතදිග මෝසම් වර්ෂාවෙන් සැලකිය යුතු වාර්ෂික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් නායයෑම් වලට ගොදුරු වේ.

මධ්‍යම කඳුකරයේ නායයෑම් සිදුවෙමින් පවතින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ජීවිත හානි, යටිතල පහසුකම් සහ රටේ පරිසරයට සිදුවන හානි වනු ඇත.

මෙය අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් වන අතර, එය ප්‍රාදේශිය ජනතාවට ප්‍රයෝජනවත් වනුයේ   ඔවුන්ගේ නිෂ්පාදන වෙළඳ නගර කරා ප්‍රවාහනය කිරීමෙන් ජාතික ආර්ථිකයට දායකත්වයක්ද ලබාදෙන බැවිනි.

මෙම දැවැන්ත ව්‍යාපෘතිය නියමිත තත්වයන්ට හා න්‍යායයන්ට අනුකූලව සිදුකෙරෙන බව ව්‍යාපෘති අධ්‍යක්‍ෂ බණ්ඩාර මහතා පැවසීය.

බණ්ඩාර මහතාට අනුව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සහ ශ්‍රී ලංකා රජය සමස්ත ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දක්වනු  ඇත.

මහා සංඝරත්නයේ ආශීර්වාද සහ ආගමික වතාවත් මධ්‍යයේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියේ   සමාරම්භක උත්සවයට පූජ්‍ය රඹුක්පොත ධම්මදින්න හිමි, පොලිස් නිලධාරීන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කාර්ය මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් සහ නිවැසියන් ද සහභාගී වූහ.