මිනිසා විසින් ඇති කරන හෝ ස්වාභාවික විපත් හෝ ඕනෑම තර්ජනයකින් ජනතාව ආරක්‍ෂා කිරීමට ඔබේ සෙබළුන් මෙහෙයවන්න - ආරක්‍ෂක ලේකම්

දෙසැම්බර් 19, 2020
  • හමුදා නායකයින් සෑම අංශයකින්ම දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ
  • ජාතිය ගොඩනැගීමේ ව්‍යාපාරයට හමුදාවද සම්බන්ධ වනු ඇතැයි අපේක්ෂා කෙරේ
  • ත්‍රස්තවාදය අවසන් කළ වඩාත්ම ජයග්‍රාහී හමුදාවක ආශීර්වාදය අපිට ඇත

හමුදා නායකයින් අද මෙන් සෑම අංශයකින්ම දස්කම් දක්වනු ඇතැයි අපේක්‍ෂා කරන බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසීය.

මිනිසා විසින් ඇති කරන හෝ ස්වාභාවික විපතක් හෝ  ඕනෑම තර්ජනයකින් මිනිසුන් ආරක්‍ෂා කර ගැනීම සඳහා ඔබේ සෙබල සෙබලියන් මෙහෙයවීමට මෙන්ම සමෘද්ධිමත් අනාගතයක්  උදෙසා ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්මට අනුකූලව ජාතිය ගොඩනැගීමේ ව්‍යාපාරයට හමුදාව සම්බන්ධ වනු ඇතැයි ද අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.

කීර්තිමත් ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨයේ අද දින (දෙසැම්බර් 19) පැවති  කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත්වීමේ විචිත්‍රවත් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ආරක්‍ෂක ලේකම්වරයා දියතලාවේ දී මේ බව පවසන ලදි.  

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ කේ ජී කේ යූ ඥානරත්න විසින් ආරක්ෂක ලේකම්වරයාව සාදරයෙන් පිලිගන්නා ලදි.

95 වන වරටත් සම්ප්‍රදායන්ට අනුකූලව පැවති නිලධාරින් විසිරයාමේ පෙළපාලිය මගින් ප්‍රධාන ආරාධිත අමුත්තාට චාරිත්‍රානුකූල ගෞරව සම්මාන ප්‍රදානය කරන ලදි.

වර්ණවත් පෙළපාළියක දී කාන්තා පාඨමලා අංක 18 යටතේ පුහුණුව ලැබූ කාන්තා නිලධාරිනියන්18 ක්, අංක 88 සහ 88(බී) පාඨමලා වලට අයත් නිලධාරීන්, මාලදිවයින් ජාතික හමුදා නිලධාරියෙක් හා සැම්බියානු ජාතික හමුදා  නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු කෙඩෙට් නිලධාරීන් 187 ක් විසිර යන ලදි.   

විසිරයාමේ පෙළපාළියේදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් නව නිලධාරීන් වෙත අසිපත් ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨයේ වාර්ෂික දින දර්ශනයේ ඇති වැදගත් සිදුවීමකි. පාඨමාලාවේ විශේෂ කුසලතා දැක්වූ ශිෂ්‍ය නිලධාරීන්ට විශේෂ සම්මාන ප්‍රදානය කිරීම සහ සෑම අතින්ම දක්ෂතා දැක්වූ ශිෂ්‍ය නිලධාරියාට හිමි ගෞරව අසිපත ප්‍රධානය කිරීම ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් සිදුවන ලදි.

සාර්ථක හමුදා පුහුණුව අවසන් වූ පසු, කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත්කරනු ලබන්නේ අතිගරු ජනාධිපති විසින් නම් කරන ලද ආරාධිතයෙකුගේ සහ දෙස් විදෙස් ආරාධිතයන් ඉදිරියේ වර්ණවත් හමුදා පෙළපාළියක් පැවැත්වීමෙනි.

ඒ අනුව, චීන හමුදා විද්‍යාපීඨයේ මූලික හමුදා පුහුණුව ලැබූ ශ්‍රී ලංකා කෙඩෙට් නිලධාරීන් 04 දෙනෙක්, ඉන්දීය හමුදා විද්‍යාපීඨයේ  පුහුණුව ලැබූ කෙඩෙට් නිලධාරීන් දෙදෙනෙක්, පාකිස්ථාන හමුදා විද්‍යාපීඨයේ  පුහුණුව ලැබූ කෙඩෙට් නිලධාරීන් 09 දෙනෙක් සහ එක්සත් රාජධානියේ සැන්ඩ්හර්ස්ට් හි රාජකීය හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ කෙඩෙට් නිලධාරීයෙක්ද අද පැවති උත්සවයේදී අධිකාරියට පත්වන ලදි.

ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා දායක වූ සියලු හමුදා නායකයින්ගේ වඩාත්ම වීරෝදාර සාක්ෂිය වන අභිමානවත් ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨ පරිශ්‍රයේ සිට ආරක්‍ෂක ලේකම්වරයා පැවසුයේ, “දශක තුනකට ආසන්න කාලයක් රට විනාශ කළ, ලේ පිපාසිත ත්‍රස්තවාදය අවසන් කිරීමට නායකත්වය දුන් ලෝකයේ වඩාත්ම ජයග්‍රාහී හමුදාවක ආශීර්වාදය අපට ඇත’’ යනුවෙනි.

“ලෝකයේ මෙතෙක් පැවති දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව ධෛර්ය සම්පන්නව සටන් කළ නිර්භීත නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ භක්තිය, කැපවීම සහ උත්සාහය සාමයට ලැදි ශ්‍රී ලාංකිකයින් දීර්ඝ කාලයක් තිස්සේ අපේක්‍ෂා කළ මෙම ප්‍රාර්ථනය සාක්ෂාත් කර ගැනීමට මග පෑදීය”  යනුවෙන් පවසමින් අපේක්ෂිත අවසානය දක්වා ජාතියේ සතුරා නිර්දය ලෙස ලුහුබැඳ ගිය එම දක්ෂ නිලධාරීන්ට සහ සෙබළුන්ට ඔහුගේ ආචාරය පුදකරන ලදි.

'ආරක්‍ෂක පවුලට' සහ විශේෂයෙන් 'ජාතියේ ආරක්‍ෂකයින්'  වන ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත අලුතින් එකතු වෙන ලද නිලධාරීන් සාදරයෙන් පිළිගනිමින්, මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පැවසුවේ, “ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපගේ සාර්ථකත්වයේ පිටුපස වූ ජයග්‍රාහී කුළුණ වන ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳීම ගැන ඔබ සැවොම ආඩම්බර විය යුතුයි” යන්නයි.

“මතක තබා ගන්න, එය කෙනෙකුට ලබාගත හැකි ඉතා දුර්ලභ අවස්ථාවක්”, ඔහු සඳහන් කළේය.

තම කතාවේදී දෙමාපියන් අමතමින් ආරක්‍ෂක ලේකම්වරයා කියා සිටියේ නව නිලධාරීන් අද ආරම්භ කරන ගමන නිසැකවම අනාගතයේ දී වෘත්තීය ප්‍රතිලාභ ලබාදෙන ඉතා පැහැදිලි වෘත්තීය මාවතක ඔවුන් ගෙන යන බවයි.

මේජර් ජෙනරාල් ගුණරත්න තම දරුවන් හමුදාවට බැඳීමට මඟ පෙන්වීම පිළිබඳව නව නිලධාරීන්ගේ  දෙමව්පියන්ට සිය හෘදයාංගම සුබ පැතුම් හා කෘතඥතාව පළ කළ අතර ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායකයා වන අතිගරු ජනාධිපතිවරයා ගෙන් අධිකාරිය ලබා ගැනීමෙන් ඔවුන් සිය පළමු පියවර තැබූ බව සඳහන් කල අතර, “එය අපේක්‍ෂාවන්ගෙන් පිරුණු උදාර වෘත්තියක ආරම්භය සනිටුහන් කරයි”. යනුවෙන්ද සඳහන් කළේය.

හමුදා නායකයෙකුගේ විෂය පථය යටතේ වන මිනිසුන්ගේ වටිනා ජීවිත ගැන අවධාරණය කරමින් ආරක්‍ෂක ලේකම්වරයා අවධාරණය කළේ, “සියලු අණදෙන නිලධාරීන් පළමුව ඔහුගේ අණ යටතේ සිටින සොල්දාදුවන්ගේ හෘද ස්පන්දනය තේරුම් ගත හැකි හොඳ නායකයින් බවට පත්විය යුතු බව හා ඔබ සියලු දෙනාම සෑම අවස්ථාවකම ඔබේ සෙබළුන් ආරක්‍ෂා කළ යුතුය” යන්නයි.

තවද, අපගේ සෑම සොල්දාදුවෙක්ම අප රටේ පුරවැසියෙකුගේ පුතෙකු / දියණියක, ස්වාමිපුරුෂයෙකු / බිරිඳක් සහ පියෙකු / මවක් බව සඳහන් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා කියාසිටියේ, “ඒවා ක්‍ෂය වන භාණ්ඩ ලෙස භාවිතා කිරීමට ඔබට බලයක් නැත. නීත්‍යානුකූල අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පමණක් ඔබ තෝරාගත් ක්‍රියාමාර්ගයේ නිවැරදි වේලාව, ස්ථානය සහ ප්‍රමාණය භාවිතා කරන්න.” යනුවෙනි.  

ප්‍රධාන ආරාධිත අමුත්තාගේ දේශනය අතරතුර, ඉක්මන් තීන්දු තීරණ නොගෙන තීරණ ගැනීමට පෙර විශ්ලේෂණාත්මක සාන්ද්‍රණයක් ක්‍රියාත්මක කරමින් වඩාත් ශක්‍ය හා සුදුසු තීරණ ගන්නා ලෙස මේජර් ජෙනරාල් ගුණරත්න මහතා නව නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙහි පුහුණුව ලැබූ විදේශ නිලධාරීන්ට සිය සුබ පැතුම් එක් කරමින් ඔහු කියා සිටියේ, “කෝවිඩ් වසංගතය මධ්‍යයේ සියලුම විදේශීය ශිෂ්‍ය නිලධාරීන් ශ්‍රී ලංකාවේ රැඳී සිටී කාලය තුල සතුටින් සිටින්නට ඇතැයි මා බලාපොරොත්තු වන බවත්, ඔවුන්ගේ නිවෙස්වලට ආරක්ෂිතව යාමට ලැබේවා කියා ප්‍රර්ථනා කරන බවත් ” යනුවෙනි.

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට, ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට මෙම තරුණ නිලධාරීන් අනාගත හමුදා නායකයින් බවට පත් කිරීම සඳහා කළ කැපවීම වෙනුවෙන් ඔහු සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේය.

ආරක්‍ෂක ලේකම්වරයා ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨයේ ඇති රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ අතර, පැළයක් රෝපණය කිරීමද සිදුකරන ලදි.     

මහා සංඝ රත්නය හා ආගමික නායකයින් ඇතුළු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂාක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මහත්මිය, යුධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය, විදේශීය නියෝජිතයින්, ආරාධිත අමුත්තන්, විදේශීය හා දේශීය කෙඩෙට් නිලධාරීන්  සහ ඔවුන්ගේ ඥාතීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

සම්මාන