කිසිවෙකුටවත් අවි අතට ගැනීමට ඉඩදෙන්නේ නෑ - ආරක්‍ෂක ලේකම්

ජනවාරී 01, 2021
  •    බෙදුම්වාදයට හා අන්තවාදයට ඉඩක් නෑ
  •    විදේශයන්හි සිට සිදුකරන මත්ද්‍රව්‍ය ව්‍යාපාරයන්ට ඉඩක් නෑ

බෙදුම්වාදයට හා අන්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වීමට මනාව සැලසුම්කර ඇති බැවින් ලබන වසරේ (2021)  එවැනි ක්‍රියාවන් වලට කිසිදු ඉඩක් නොමැති බව ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා ඊයේ (2020 දෙසැම්බර් 31) දින ප්‍රකාශ කරන ලදි.

සමාජයේ මෑත කාලීනව පැතිර යන තොරතුරක් පිළිබඳව මාධ්‍ය විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ අවි ආයුධ අතට ගැනීමට කිසිවෙකුට ඉඩනොදෙන බවයි.

බන්ධනාගාර තුල ඇති ඉඩකඩ ප්‍රමාණවත් නොවීම සහ කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් සුළු වැරදි වලට බන්ධනාගාරව සිටි ඇතැම් අය නිදහස් කලද, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  නිදහස් කර නොමැති බව දැනට බන්ධනාගාර තුල පවතින තත්වය පිළිබඳව පැහැදිලි කරමින් ජෙනරාල් ගුණරත්න මහතා පැවසීය.

විදේශයන්හි සිට මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාපාර සිදුකරන අයවලුන්ට එරෙහිව දැනටමත් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, එවැනි ලාංකිකයින් 18 දෙනෙකුට එරෙහිව අන්තර් ජාතික පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති බවත්, පිටරට සිට මත්ද්‍රව්‍ය ව්‍යාපාර කිරීමට ඉඩ නොතබන බවත් ආරක්‍ෂක ලේකම් අවධාරණය කරන ලදි.

විදේශයන්හි සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ලබන වසරේදී ගෙන ඇති සැලසුම් පිළිබඳව ආරක්‍ෂක ලේකම් මෙලෙස පැහැදිලි කරන ලදි.  

පාතාල ක්‍රියාකාරකම් ඇතුළුව මෙම කරුණු පිළිබඳව සතිපතා සාකච්ඡා පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

ලබන වසරේ (2021) දිවයිනේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීමේ මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කරන බව ඔහු නැවත අවධාරණය කළේය.

ඉදිරියේදී යළිත් වරක් ඉදිරිපත් කරනු ඇතැයි කියනු ලබන මානව හිමිකම් උල්ලංගනය වීම් ගැන චෝදනා පිළිබඳව නැගු පැනයකට පිළිතුරු දෙමින් ආරක්‍ෂක ලේකම් කියා සිටියේ, “මෙම චෝදනා 2009 වසරේ සිට අපේ හමුදාවන්ට එරෙහිව එල්ල කලා. අපි යුධ අපරාධ කරපු හමුදාවක් නොවේ. අපි මානුෂියත්වයේ නාමයෙන් මානුෂිය මෙහෙයුමක් කරපු හමුදාවක් බැවින් එවැනි චෝදනා වලට අපි බය නෑ.” ලෙසිනි.