දැනට සිදුකෙරෙමින් පවතින මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථකයි

අප්‍රේල් 30, 2019

දෛනික කටයුතු සුපුරුදු පරිදි කරගෙන යාමට පොදු ජනතාව පෙළඹෙයි

ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන් විසින් පාසල්වල ආරක්‍ෂාව තහවුරු කරයි

ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා විශේෂ කාර්ය බලකාය විසින් දිවයින පුරා සිදුකරනු ලබන සෝදිසි මෙහෙයුම් තව දුරටත් පවත්වාගෙන යන අතර රටෙහි ආරක්‍ෂාව තර කර තිබේ. ආරක්‍ෂක අංශ විසින් දිවයිනේ සියලුම පූජනීය ස්ථානවලට උපරිම ආරක්‍ෂාවක් ලබා දී ඇත. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන අංශය විසින් සිදු කරනු ලබන පරීක්‍ෂණ ඉතා සාර්ථක වී ඇති අතර අන්තවාදීන්ගේ සියලු පාර්ශවයන් හඳුනා ගැනීමට ඔවුන්ට හැකි වී ඇති අතර අන්තවාදීන් දුර්වල කිරීමටත්, ඔවුන් සිදුකරන විනාශකාරී ක්‍රියාවන් තවදුරටත් වළක්වාලීමටත් ක්‍රියාකර ඇති බව පොලිසිය විශ්වාස කරයි.

දිවයිනේ සියලුම පාසල් සඳුදා (මැයි 06) දින නැවත විවෘත කිරීමට නියමිත අතර, පාසල් සඳහා ප්‍රමාණවත් ආරක්‍ෂාවක් ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට පවරා තිබේ. පාසල් දරුවන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පියවර කිහිපයක් ගෙන ඇත.

පෙර දැනුම් දී ඇති පරිදි, පාසල් සඳුදා දින සිට විවෘත කල පසු පාසල් ආසන්නයේ වාහන නවත්වා තැබීම සම්පුර්ණයෙන් තහනම් වේ. එවැනි ස්ථානවල නවතා ඇති ඕනෑම වාහනයක් පොලිසිය විසින් ආරක්‍ෂිත ස්ථානයකට ඉවත් කර දැඩි ආරක්‍ෂණ පරීක්‍ෂණයකට ලක් කරනු ලැබේ. සියලුම පාසල් අසල වාහන නොනවත්වන ලෙසත් එසේ සිදුකර අපහසුතාවයට පත් නොවන ලෙසත් පොදු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තමා අවට සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව විමසිලිමත්ව තම එදිනෙදා කටයුතු සිදුකරන මෙන් පොදු ජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටි.

එමෙන්ම බොරු තොරතුරු සහ කටකතා නොපතුරවන ලෙස මතක් කර ඇත. දැනට ක්‍රියාත්මක හදිසි නීතිය අනුව එය දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර, එබඳු කටයුතුවලට සම්බන්ධ වන ඕනෑම කෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ.

නාවික හමුදාව විසින් මහනුවර ප්‍රදේශයේ සිදුකරණ ලද සෝදිසි මෙහෙයුමකදී පෙට්‍රෝල් අඩංගු බූලි 28 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ලීටර් 20 සේ පෙට්‍රෝල් බූලි ලඟතබා ගැනීමට හේතුව පැහැදිලි කිරීමට අසමත් වූ හෙයින් මෙසේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. අද දින හලාවත ප්‍රදේශයේ මාර්ග බාධකයක රාජකාරියේ යොදවා සිටි නාවික හමුදා භටයින් විසින් කොළඹ - මන්නාරම බස් රථයක් පරීක්‍ෂා කර පොලිස් නිල ඇඳුම් 20 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරුවලට අනුව, ගුවන් හමුදාව විසින් සැකකටයුතු තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී බෝම්බ නිෂ්පාදනයට යොදාගත හැකි අධි බලැති බැටරි, ස්විච් හා වයර් තොගයක් සොයාගෙන ඇත. මෙම සැකකරු වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා කොම්පඤ්ඤවීදිය පොලිසියට භාරදී ඇත. ගුවන් හමුදාව විසින් කොළඹ ප්‍රදේශ රැසක් ද ඇතුළුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක ම සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලැබිය.