ප්‍රධාන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

අප්‍රේල් 29, 2019

මුස්ලිම් ප්‍රජාව වටිනා තොරතුරු සපයයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින මෙම සැකකරුවන්ගෙන් හත් දෙනෙකු කාන්තාවන් වේ. මීට අමතරව තවත් සැකකරුවන් පහළොස්දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත භාරදී ඇති අතර ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටි. ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් රඳවාගෙන විමර්ශනය කිරීම් සිදුකරනු ලබන 15 දෙනාගෙන් 7 දෙනෙකු දෙහිවල බෝම්බ පිපිරවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත සැකකරුවන් වේ. අනෙක් සැකකරුවන් 8 දෙනා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ත්‍රස්ත ක්‍රියා සම්බන්ධව අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත භාරදුන් අයවලුන් වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (අප්‍රේල් 29) දින කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කරන ලදී. හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනවිරත්න සහ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සැකකරුවන් 6 දෙනෙකුගේ තොරතුරු පසුගිය දිනවල මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලදී. මෙම සැකකරුවන් අතරින් තිදෙනෙකු කාන්තාවන් වන අතර අනෙක් අය පිරිමි අයවලුන් වේ. මෙම සැකකරුවන් හයදෙනා අතුරින් දෙදෙනෙකු ගම්පොළ පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම දෙදෙනා සොහොයුරන් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් මොහොමඩ් ඉව්හයිම් සාදික් අබ්දුල් හක් සහ මොහොමඩ් ඉව්හයිම් ෂහීඩ් අබ්දුල් හක් නම් වේ. ඔවුන් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ. තවත් සැකකාරියක් වන ෆාතිමා ලතිෆා මාවනැල්ල ප්‍රදේශයේ දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇය මොහොමඩ් ඉව්හයිම් සදික් අබ්දුල් හක් ගේ බිරිඳ ලෙස හඳුනාගෙන ඇත.

අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සැකකාරිය අබ්දුල් කාදර් ෆාතිමා සදියා නොහොත් සිද්දීයා මොහොමඩ් සහරාන් නම් ත්‍රස්තවාදියාගේ බිරිඳ ලෙස හඳුනාගෙන ඇත.

මෙම සැකකරුවන් 6 දෙනාගෙන් ඉතිරි සැකකරුවන් දෙදෙනා වන පුලස්තිනි රාජේන්ද්‍රන් නොහොත් සාරා සහ මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන් යන අය කල්මුණේ චවලකඩේ දී සිදුවූ පිපිරීම හේතුවෙන් මියයන්නට ඇති බවට සැකකරන අතර එම සැකකරුවන්ගේ සැබෑ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා ඩිඑන්ඒ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය. ඒකාබද්ධ විමර්ශන කටයුතු සාර්ථකව සිදුකරගැනීම සඳහා මුස්ලිම් ප්‍රජාව විසින් සපයන ලද වටිනා තොරතුරු පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිය ප්‍රසංසාව පුදකළේය. විශේෂයෙන්ම චවලකඩේ ප්‍රදේශයේ සැකකටයුතු නිවස පිළිබඳව අසල්වැසි මුස්ලිම් ජාතිකයෙකු විසින් එම ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ දී සිටි පොලිස් නිලධාරියෙකු වෙත දන්වා තිබේ. මෙමගින් අදාළ ත්‍රස්තවාදී කණ්ඩායම සම්බන්ධයෙන් බොහෝ වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කර ගැනීමට බලධාරීන්ට හැකිවී තිබේ.