රටේ සංවර්ධනය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වය

ජනවාරී 21, 2021
  • සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් නන්දන සේනාධීර මහතා වැඩ භාර ගනී.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශක්තිය රටේ සංවර්ධනයට සහ කෘෂිකාර්මික අංශය නංවාලීමට යොදා ගන්නා බව මේජර් ජෙනරාල් නන්දන සේනාධීර (විශ්‍රාමික) අද (ජනවාරි 21) දින පැවසීය.

මේ අතර, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නන්දිමිත්‍ර බලකාය තවදුරටත් පුහුණු කර හමුදාවලට සහාය වීම සඳහා අතිරේක බලඇණියක් ලෙස තබා ගන්නා බව ඔහු පැවසීය.

මේජර් ජෙනරාල් සේනාධීර (විශ්‍රාමික) සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්වීමෙන් පසු මේ බව අද (21) කොළඹදී ප්‍රකාශ කළේය.

සම්ප්‍රදායන්ට අනුකූලව ආගමික වතාවත් වල යෙදීමද මෙහිදී සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න මැතිනිය ද සහභාගී විය.

ගරු මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර (විශ්‍රාමික) මහතා විසින් පත්වීම් ලිපිය මේජර් ජෙනරාල් සේනාධීර මහතා වෙත මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී ජනවාරි 13 වන දින භාර දුන්නේය.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් උදේනි සේරසිංහ (විශ්‍රාමික) විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරයා පිළිගත් අතර ඔහු සඳහා සම්මාන මුරයක් ද පිරිනමන ලදී.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් (විශ්‍රාමික), කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති චන්දන වික්‍රමරත්න, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක (විශ්‍රාමික), ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික), ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් කුලතුංග සහ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතා සහ ආරාධිතයින් ද සහභාගී විය.