අනගාරික ධර්මපාලතුමන්ගේ මෙහෙවර තවදුරටත් ඉදිරියට

ජනවාරී 22, 2021
  •  හෝමාගම විමලඥාන විහාරස්ථානයේ ධර්ම ශාලාවක් ඉදිකිරීම සඳහා මුල්ගල තබයි

මහාබෝධි සමාගමේ ශ්‍රී ලංකාවේ සභාපති සහ ජපානයේ ප්‍රධාන සංඝනායක අති පුජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ අනුග්‍රහය යටතේ බුදු දහම ඉගැන්වීම් ප්‍රචාරය කිරීමේ අරමුණින් හෝමාගම විමලඥාන විහාරස්ථානයේ ධර්ම ශාලාවක් ඉදිකිරීම සඳහා ඊයේ (ජනවාරි 21) දින මුල්ගල තබන ලදී.

ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනර්ජීවයක් ඇතිකළ සුප්‍රසිද්ධ ගත් කතුවරයෙක් වන ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ අභාවයෙන් පසු එතුමන් විසින් සිදුකල බෞද්ධාගම ඉගැන්වීම් ව්‍යාප්ත කිරීමේ මෙහෙවර මහබෝධි සමාගම විසින් සිදුකරගෙන යන ලදී.

විමලඥාන විහාරස්ථානාධිපති මොණරාගල පඤ්ඤාලංකාර හිමියන්ගේ අධීක්ෂණය යටතේ සිදුකරන මෙම ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු, බුදු දහම, සාමය සහ මානව සාරධර්ම පිළිබඳව ඉගැන්වීම්, බැතිමතුන්ට පමණක් නොව, පුනරුත්ථාපනයට ලක්වන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා ද ලබාදීමට අපේක්ෂා කෙරේ.

ධර්මශාලාව ඉදිකිරීම සදහා වන විශාලතම අනුග්‍රහය වන පර්චස් 70 ක භූමි ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කර්මය ඉන්ද්‍රා කාන්ති සහ පත්ම හර්ෂ පනාගොඩ යන ශ්‍රී ලාංකික දානපතියන් විසින් සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ මහා විහාර සම්ප්‍රදායේ ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක  රාජකිය පණ්ඩිත අති පූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥාණරතනාභිධාන හිමි, මල්වතු පාර්ශවයේ අනු නායක අති පුජ්‍ය දිඹුල් කුඹුරේ ශ්‍රී විමලධර්ම හිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පුජ්‍ය වෙඩරුවේ උපාලි හිමි, මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරී අති පූජ්‍ය ආචාර්ය පහමුනේ ධර්මකීර්ති ශ්‍රී සුමංගල හිමි සහ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී අති පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් ආගමික වතාවන් සිදුකිරීමෙන් අනතුරුව මුල්ගල් තැබීමේ උත්සවය සිදුකරන ලදී.

ගරු වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ මහබෝධි සමාගමේ ලේකම් නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය යන මහත්වරුන් මෙම අවස්ථාව සදහා සහභාගී විය.