විදේශීය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් කුඩා රාවණා පරයේ සිරවී අනතුරක

ජනවාරී 24, 2021

ශ්‍රී ලංකාවේ ගිණිකොන දිග මුහුදු ප්‍රදේශයේ පිහිටි කුඩා රාවණා පරයේ සිරවී අනතුරට පත් විදේශීය නෞකාවේ බඳට හානි සිදුවී ඇති බවට වාර්ථා නොවන අතර, සාගරයට ඉන්ධන කාන්දුවීමක් සිදුවී නොමැති බව නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා අද (ජනවාරි 24) දින ආරක්‍ෂක අමාත්‍යංශ නිල වෙබ් අඩවිය (defence.lk) වෙත පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වරායේ සිට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරාය දක්වා ක්ලින්කර් (Clinker) ප්‍රවාහනය කරමින් සිටි MV Eurosun නැමති මෙම නෞකාව අනතුරට පත්වී ඇති බව වාර්තා විය.

ඊයේ (ජනවාරි 23) දින මෙම නෞකාවෙන් ලැබුණු ආපදා ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදා යාත්‍රා සහ ගුවන් හමුදා යානාවක් අනතුරට පත් නෞකාව ආසන්නයට ළඟාවී විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

අනතුරට පත් නෞකාවට ජලය කාන්දු වීමක් මෙතෙක් වාර්තා වී නොමැත බව කපිතාන් ද සිල්වා පවසයි.

නාවික හමුදා මාධ්‍ය පවසන පරිදි මෙහි ක්ලින්කර් (Clinker) මෙට්‍රික් ටොන් 33000 කට අධික ප්‍රමාණයක් පටවා ඇති අතර, ඉන්ධන මෙට්‍රික් ටොන් 720 ක පමණ ප්‍රමාණයක් ගබඩා කර ඇත.

කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ලැබුණු ආපදා ඇමතුමක් අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදා නෞකාවක් සහ කිමිදුම්කරුවන් රැගත් යාත්‍රාවක් මේ සදහා යොදවා ඇත.  

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අදාල මුහුදු ප්‍රදේශය ආවරණය කරමින් සිදුකරන ලද ගුවන් නිරීක්‍ෂණ මගින් මෙම සිද්ධියට අදාළ ගුවන් දර්ශන කිහිපයක් ලබාගෙන ඇති බව ගුවන් හමුදා ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ පැවසීය.

නාවික හමුදා මූලස්ථානයේ පවත්වාගෙන යනු ලබන කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මෙම කටයුතු අධීක්‍ෂණය කරමින් සිටින බව නාවික හමුදා ප්‍රකාශකවරයා පැවසීය.