ආරක්ෂක ලේකම් සඳහිරු සෑය ව්‍යාපෘතිය නිරීක්ෂණය කරයි

ජනවාරී 24, 2021

නියමිත කාල සීමාව තුල සඳහිරු සෑය ඉදිකර අවසන් කිරීම සඳහා වැඩ කාල සටහනට අනුව ඉදිකිරීම් කටයුතු සිදුකරන ලෙස ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් ව්‍යාපෘතිය සදහා  අනුයුක්ත කර ඇති සියලුම පාර්ශවකරුවන්ට උපදෙස් ලබා දුන්නේය.

රටේ විශාලතම ස්තූපයන්ගෙන් එකක් වන මෙහි ඉදිකිරීම් වල ප්‍රගතිය අද (24) දින පරීක්ෂා කල ආරක්ෂක ලේකම් අපේක්ෂිත කාල සීමාව තුල ඉදිකිරීම් අවසන් කිරීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස සියලු පාර්ශවකරුවන්ට උපදෙස් දෙන ලදි.

ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා අනුරාධපුරයේ සඳහිරු සෑය පරිශ්‍රයට ගිය අවස්ථාවේදී ආරක්ෂක ලේකම් මෙලෙස උපදෙස් ලබා දෙන ලදි.

හතරැස් කොටුව ගොඩනැංවීම, කොත් කැරැල්ල සහ කොත නිර්මාණය කිරීම, මුදුනත චූඩා මාණික්‍යය තැන්පත් කිරීම, යෝජිත සෙල්ලිපි, කැටයම්, මූර්ති හා කලා කටයුතු පිළිබඳව ද මෙම පූජනීය ස්ථානයේ පැවති රැස්වීමේදී සාකච්ඡා කෙරිණි.

ජෙනරාල් ගුණරත්න පවසන පරිදි චූඩා මාණික්‍යය තැම්පත් කිරීමට ප්‍රථම මහජනතාවට වැද පුදා ගැනීම  සඳහා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත.

මෙහිදි  මෙම පූජනීය පරිශ්‍රයේ බෝධිඝරය ඉදිකිරීම සම්බන්ධ මූලික කටයුතු ඔහු සමාලෝචනය කළේය.           
 
ඉදිකිරීම් කටයුතු සිදුකරන ස්ථානයට පැමිණීමෙන් පසු ජෙනරාල් ගුණරත්න චෛත්‍යයේ ගඩොල් තැන්පත් කිරීමද සිදුකරන ලදී.

දශක තුනක් පුරා පැවති කුරිරු ත‍්‍රස්තවාදය රටින් තුරන් කිරීම සඳහා ආරක්ෂක අංශ සහ පොලීසිය විසින් කරන ලද උදාර සේවය අගය කිරීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුග්‍රහය යටතේ සඳහිරු සෑය ඉදිකිරීම ආරම්භ කරන ලදී. ඉදිකිරීම් කටයුතු සම්පුර්ණ කිරීමෙන් පසු මෙය දිවයිනේ ඇති විශාලතම චෛත්‍යයන්ගෙන් එකක් බවට පත්වේ.

ත්‍රිවිධ හමුදාව විසින් සිදුකරනු ලබන මෙම දැවැන්ත චෛත්‍යයේ උස අඩි 282ක් සහ වට ප්‍රමාණය අඩි 801 ක් පමණ වේ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරන, හමුදා සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ව්‍යාපෘතිය භාර නිලධාරීන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ කලා ශිල්පින් මෙම නිරීක්ෂණ චාරිකාව සදහා සහභාගී විය.