කුඩා රාවණා පරය අසල සමුද්‍රීය පරිසර පරීක්ෂණ

ජනවාරී 26, 2021

භාණ්ඩ ප්‍රවාහන නෞකාව අනතුරට පත්වීමෙන් හේතුවෙන් අනතුරුව කුඩා රාවණා ගල්පරය ආසන්නයේ සමුද්‍රීය පරිසර පරීක්ෂණ සිදුකරමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහදපුර මහත්මිය අද (ජනවාරි 26) දින පැවසීය.   

අනතුරට පත් වූ නෞකාව මගින් සාගරයට කිසිදු තෙල් කාන්දුවීමක් මේ දක්වා සිදුවී නොමැති බව ලහදපුර මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකා නාවික හමුදා තොරතුරු වලට අනුව, ජනවාරි 23 වන දින දිවයිනට ගිණිකොණ දෙසින් නාවික සැතපුම් 5.5 පමණ දුරින් පිහිටි පර්වතයක සිරවු නෞකාව එම මුහුදු ප්‍රදේශයේ පවත්නා වඩදිය තත්වය හමුවේ මේ වන විට ගල් පරයෙන් ඉවත් වී ඇත.

මේ වනවිට එම නෞකාව ආරක්ෂිත ස්ථානයක නැංගුරම්ලා ඇති අතර නෞකාවේ දිය යට බඳ කොටසේ පරීක්‍ෂාවන් සිදුකරන බව නාවික හමුදාව පවසයි.

තවද, පාෂාණ සහ වැලි සහිත මුහුදු පතුල හේතුවෙන් නෞකාවේ පහල කොටසේ සුළු හානියක් සිදුවී ඇති බව කිමිදුම් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

කොළඹ සමුද්‍රීය මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් නෞකාවේ අළුත්වැඩියා කටයුතු සිදු කරන ලෙස එහි දේශීය නියෝජිතයන්ට දැනුම් දී ඇත.

තවද නෞකාවේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලයට මෙම අනතුර හේතුවෙන් හානියක් සිදුවී නොමැත.