සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශවලට අනුකූලව නිදහස් දින පෙළපාළිය පැවැත්වේ - ආරක්ෂක ලේකම්

පෙබරවාරි 01, 2021
  •  73 වන නිදහස් දින සැමරුමට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්
  •  සියලුම ප්‍රධාන ආගම් නියෝජනය වන පරිදි ආගමික කටයුතු සිදුකෙරේ
  •  පෙබරවාරි මස 1 දින සිට පෙරහුරු ආරම්භ වේ
  •  විශේෂ රථවහන සැලැස්මක් ක්‍රියාත්මක වේ

සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශ අනුගමනය කරමින් 73 වන නිදහස් දින සැමරුම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  2021 පෙබරවාරි මස 4 වන දින කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීම සඳහා සියල්ල සූදානම් කර ඇති බව වාරිමාර්ග අමාත්‍ය සහ ජාතික ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහතා අද (පෙබරවාරි 1) දින පැවසීය.

රජයේ තොරතුරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී, මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ පිරිත් සජ්ජායනාවක් ඇතුළු ආගමික වතාවත් ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (පෙබරවාරි 2) දින රාත්‍රියේ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වෙන බවයි.  

ජනමාධ්‍ය අමාත්‍ය ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙබරවාරි 4 වන දින වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම සඳහා Online තාක්ෂණය ඔස්සේ පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවට ද සහභාගී විය.    

මෙහිදි ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් කියා සිටියේ  “නිදහස් දිනය සැමරීම සඳහා සතියක් පුරා සියලුම රාජ්‍ය ආයතනවල ජාතික ධජය ඔසවන අතර එලෙස ජාතික ධජය ඔසවන ලෙස සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බවය”.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වන සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම වසරේ නිදහස් උත්සවය පවත්වනු ලබන බව ඔහු කියා සිටියේය.  

කොරෝනා වෛරසය පැතිරීමේ අවධානම  හේතුවෙන් මහජනතාවට මෙවර නිදහස් දින පෙළපාළිය නැරඹීමට අවස්ථාවක් නොමැති අතර සම්පුර්ණ වැඩසටහන සජීවීව විකාශය කරන බව ඔහු ප්‍රකාශ කරන ලදී.   

උත්සවයට සහභාගීවන අයගේ ආරක්ෂාව පිළිබඳව අවධාරණය කරමින් ජෙනරාල් ගුණරත්න මහතා සඳහන් කළේ උත්සවයට සහභාගී වන අය සඳහා ප්‍රතිදේහජනක පරීක්ෂණ සහ PCR පරීක්ෂණ කල්තියා සිදුකරන බවයි.

හිටපු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ පිළිරුව සදහා පුෂ්පෝපහාර දැක්වීමද උත්සවයේ දී සිදුකරන බව ජෙනරාල් ගුණරත්න මහතා සඳහන් කළේය.

ජාතික වටිනාකමකින් යුතු නිදහස් දින සැමරීමේ සූදානම පිළිබඳව අවධාරණය කරමින් ඔහු කියා සිටියේ දිවයින පුරා ඇති සියලුම ග්‍රාම නිලධාරි කොට්ඨාශ ආවරණය වන පරිදි රුක් රෝපණ වැඩසටහනක් සැලසුම් කර ඇති බවයි.

යුද හමුදාවෙන් 3153 ක්, නාවික හමුදාවෙන් 821 ක්, ගුවන් හමුදාවෙන් 740 ක්, පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකායෙන් 510 ක්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් 458 ක් සහ සංස්කෘතික අංග සඳහා පුද්ගලයින් 340 ක් මෙම උත්සවය සදහා සහභාගී වන බව ජෙනරාල් ගුණරත්න මහතා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පෙරහුරු පැවැත්වීම සඳහා නිදහස් චතුරශ්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර එය අද දින සිට උත්සවය අවසන් වන තෙක් ක්‍රියාත්මක වන බවය.

ඉහත කාල සීමාව තුළ මාර්ග කිහිපයක් පෙරවරු 6.00 සිට  පස්වරු 1.00 දක්වා සම්පූර්ණයෙන්ම වසා තබන අතර   අවට මාර්ග කිහිපයකද ගමනාගමනය සීමා කරන බව නියෝජ්‍ය පොලිස්පති රෝහණ මහතා පැවසීය.

මෙම අවස්ථාව සදහා රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව සහ ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් ද සහභාගී වූහ.