'AERO-INDIA 2021', ඉන්දියන් සාගර කලාපීය ජාතින් අතර සහයෝගිතාවය ගොඩනැගීමේ ඉදිරි පිම්මකි

පෙබරවාරි 05, 2021

ශ්‍රී ලංකාවට සමීපව දකුණු මුහුදු ප්‍රදේශයේ දිවෙන වෙළඳ මාර්ග ඇතුළු වැදගත් සන්නිවේදන මාර්ග ගණනාවක් තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ භූගෝලීය වශයෙන් වැදගත් ස්ථානයක් ගන්නා බව  ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා (විශ්‍රාමික) අද (පෙබරවාරි 5) දින පැවසීය.

එබැවින් මෙම වැදගත් සන්නිවේදන හා වෙළඳ මුහුදු මාර්ග වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාවට වැදගත් කාර්යභාරයක් පැවරී ඇති බව ඔහු පැවසිය.

තවද, සිය භූමි ප්‍රමාණයට වඩා 27 ගුණයක් විශාල නාවික සැතපුම් 200 ක පමණ සාගර ප්‍රදේශයක් වූ මෙම සුවිශේෂී ආර්ථික කලාපයේ සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් සැපයීමේ වගකීම ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර එය ආරක්ෂා කර ගැනීම සදහා වර්තමාන සමුද්‍රීය පරිසරය ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ විශාල දායකත්වයක් බලාපොරොත්තු වේ.

‘AERO - INDIA 2021 ’ ට සමගාමීව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ කොළඹ ‘ටාජ් සමුද්‍රා’ හෝටලයේදී පවත්වන ලද ඉන්දියන් සාගර කලාපීය වෙරළාරක්ෂක සම්මන්ත්‍රණයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ආරක්ෂක ලේකම් ජෙනරාල් ගුණරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම අර්ථවත් වෙරළාරක්‍ෂක සම්මන්ත්‍රණය ‘ පිරිසිදු, ආරක්‍ෂිත ඉන්දියන් සාගර කලාපයක් සඳහා සහයෝගීතා ප්‍රවේශය’ යන තේමාව යටතේ පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ප්‍රකාශ කළේ, ‘Aero India 2021’, යනු ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සහ සංවර්ධනය පිළිබඳ ඉන්දියාවේ දැක්මෙහි ගැඹුරු අර්ථකතනයක් වන අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය අතිගරු නරේන්ද්‍ර මෝදි විසින් එය ඉන්දියන් සාගර කලාපීය ජාතීන් අතර පූර්ණ සහජීවනයක් ගොඩනැගීමේ වැදගත් පියවරක් ලෙස සලකනු ලබන අතර එය අදාළ විෂය ක්ෂේත්‍රය තුල බහු පාර්ශ්වීය ක්‍රියාකාරකම් රාශියකින් සමන්විත වන බවයි.

මෙම සම්මන්ත්‍රණය අමතමින් ඔහු මෙසේ ද පැවසීය. “මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ තවත් බොහෝ සංවිධානාත්මක අන්තර්ජාතික අපරාධවලට එරෙහිව කටයුතු කිරීම හැරුණු විට ධීවර කටයුතු, සමුද්‍ර දූෂණය, සෙවීමේ හා මුදාගැනීමේ ක්‍රියාන්විත, තෙල් හා රසායනික කාන්දුවීම් වලට ප්‍රතිචාර දැක්වීම, අනවසර  මසුන් ඇල්ලීම වැලැක්වීම, නීති විරෝධී සහ විධිමත් නොවන මසුන් ඇල්ලීම වැළැක්වීම, සමුද්‍ර පුරාවිද්‍යාත්මක ස්ථාන සහ සමුද්‍ර ජීවී විශේෂ ආරක්ෂා කිරීම ආදී වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිචාර දැක්විය යුතු හා අධීක්ෂණය කළ යුතු වැදගත් කාරණා බවට පත්ව ඇති බවයි”.

‘Aero-India 2021’, ද්විවාර්ෂික ගුවන් සංදර්ශන සහ ආරක්ෂක ප්‍රදර්ශනය ඉන්දියානු රජයේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2021 පෙබරවාරි මස 3 සිට 5 දක්වා බැංගලෝර්හිදී සංවිධානය කර ඇත.

මෙම ප්‍රදර්ශනයේ නවීන උපකරණ රැසක් ප්‍රදර්ශනය කර ඇති අතර නවීන උපකරණ පිළිබද ගවේෂණය සදහා එය වටිනා තෝතැන්නකි.

‘Dosti’ ඒකාබද්ධ  අභ්‍යාසය සහ මෑතකදී ‘MT New Diamond’ නෞකාවේ සිදුවූ ගින්න ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ, “ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ඉන්දීය රජයෙන් සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායෙන් ඉමහත් සහයෝගයක් ලැබෙන බවයි.  තවද විවිධාකාරයෙන් අපට සහාය දැක්වීම පිළිබඳව ඉන්දීය රජයට සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අපි කෘතඥ වෙමු” යනුවෙනි.

වෙරළාරක්‍ෂක ආයතන දෙක අතර සම්බන්දතාවය ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමු කළ ඔහු, සෙවීමේ හා මුදවාගැනීමේ  මෙහෙයුම් සඳහා සම්පත් බෙදා ගැනීම ප්‍රවර්ධනය කිරීමටත්, කලාප හරහා ඒකාබද්ධ මෙහෙයුම් සඳහා පහසුකම් සැලසීමටත්, බුද්ධි හා තොරතුරු හුවමාරු කර ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමත් වැදහත් බව ” ප්‍රකාශ කරන ලදී.
මෙම රැස්වීම සංවිධානය කිරීම පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා ඉන්දීය වෙරළාරක්ෂක බලකායට සිය කෘතඥතාව පළ කළ අතර මෙම අවස්ථාව උදාකර දීම පිළිබඳව කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ මහතාට ද සිය අවංක කෘතඥතාව පළ කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් මහ කොමසාරිස් බග්ලේ මහතා ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක  බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක වෙත සමරු තිළිණ පිළිගැන්වීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක  බලකායේ නිලධාරීන් ඇතුළු ආරාධිතයින් සහභාගී විය.