'මිහිඳු සෙත් මැදුර' රණවිරුවන් සඳහා වර්ණවත් සන්ධ්‍යාවක්

පෙබරවාරි 21, 2021

ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණියගේ අනුග්‍රහය යටතේ අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ විවිධ හැකියාවන්ගෙන් යුත් රණවිරුවන් සඳහා වර්ණවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් ඊයේ (පෙබරවාරි 20 ) සවස පැවැත්විණි.

සටනේදී ආබාධිත වූ රණවිරුවන් සඳහා වූ සුව නිවහනක් වන මිහිඳු සෙත් මැදුර පුර්ණ ආබාධිත තත්වයට පත්ව සිටින විශේෂ අවශ්‍යතා ඇති රණවිරුවන් සඳහා අවධානය, අඛණ්ඩ රැකවරණය සහ සහාය ලබාදෙන නිවහනකි.

ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සමග ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති, නාවික හා ගුවන් හමුදාපතිවරුන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයන්ගේ සභාපතිනීන් විසින් මෙම රණවිරුවන් වෙත තෑගි ලබාදෙන ලදී.

රණවිරුවන් සමඟ කාලය ගත කරමින් ආරක්ෂක උසස් නිලධාරීන් ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ කටයුතු පිළිබඳව ද සොයා බලන ලදී.

පසුව, ශ්‍රී ලංකා ගුවන් හමුදා සංස්කෘතික කණ්ඩායම මෙම වර්ණවත් සන්ධ්‍යාව ආරම්භ කරමින් පූජා නැටුමක් ඉදිරිපත් කළේය.

වැඩසටහන අතරතුර ආදරවන්තයින්ගේ දිනය සනිටුහන් කරමින් කාන්තා නර්තන ශිල්පීන් විසින් විවිධ හැකියාවන්ගෙන් යුත් රණවිරුවන්ට රතු රෝස මල් පිරිනමන ලදී.

ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචනා කරන ලද 'දරු දුක' සහ 'යූද ගිනි දුමාරය' යන ජනප්‍රිය ගීත සුප්‍රසිද්ධ ගායන ශිල්පීන් වන ශෂිකා නිසන්සලා සහ උමාරියා සිංහවන්ස විසින් ගායනා කරන ලදි.

ජනප්‍රිය ගායන ශිල්පී රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ‘ෆ්ලෑෂ්බැක්’ සංගීත කණ්ඩායමේ රිද්මය මෙම සන්ධ්‍යාවේදී ප්‍රේක්ෂකයන්ට විනෝදාස්වාදය ලබාදෙන ලදි. ජනප්‍රිය ගායන ශිල්පී නලින් පෙරේරා ද ප්‍රේක්ෂකයන් සංගීතයෙන් පිනවන ලදි.

මෙම අවස්ථාවේදී රණවිරුවන්ට ත්‍යාග පිරිනමන ලද අතර ජෙනරාල් කමල් ගුණරත්න විසින් එළිදක්වා ඇති ප්‍රකාශන කිහිපයක් මිහිදු සෙත් මැදුර පුස්තකාලයට පිළිගැන්වීය.

තවද සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මහත්මිය මෙම උත්සවය වර්ණවත් කරමින් රණවිරුවන් සඳහා විනෝදාස්වාදය ලබාදුන් කලාකරුවන් සහ සංගීත කණ්ඩායම වෙත සමරු තිලිණ ප්‍රධානය කරන ලදි.

‘මිහිදු සෙත් මැදුර’ අබාධිත සෙබළුන් සඳහා රැකවරණ ලබාදීම සඳහා දකුණු ආසියාවේ පිහිටවනු ලැබූ පළමුවන ස්ථානය වන අතර, එය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සිටියදී එතුමන්ගේ සංකල්පය මත ඉදිකරන ලද්දකි.

ඊයේ දින පැවති මියුරු සංගීත සන්ධ්‍යාව සහ රාත්‍රී භෝජන සංග්‍රහය සියලු රණවිරුවන්හට සහ සහභාගී වූ සියලු දෙනාටම සුවිශේෂී අවස්ථාවක් විය.

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, හමුදා සම්බන්ධතා නිලධාරී, සේවා වනිතා ඒකකයන්ගේ සාමාජිකයින්, 'මිහිඳු සෙත් මැදුරේ කාර්ය මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම අවස්ථාවට සහභාගී විය.