නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනයේ ‘VBSS’ පාඨමා‍ලාව සාර්ථකව නිමවේ

පෙබරවාරි 22, 2021

ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනය ත්‍රිකුණාමලයේ පැවති වැඩිදියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය උපාංග හඳුනාගැනීම හා ව්‍යර්ථ කිරීමේ ක්‍රමෝපායන් සහ සැක සහිත නෞකා වෙත ආරක්‍ෂිතව ගොඩවීම, සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම්  පිළිබඳ පාඨමාලාව (VBSS) පසුගිය සිකුරාදා සාර්ථකව අවසන් කළේය.

මෙම පාඨමාලාව මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ (UNODC) අධීක්ෂණය යටතේ පවත්වනු ලැබේ.

මෙම පාඨමාලාවේ පරමාර්ථය වනුයේ වැඩි දියුණු කල පුපුරන ද්‍රව්‍ය වලින් සම්න්විත විය හැකි  සැක සහිත නෞකා වෙත ආරක්‍ෂිතව ගොඩවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ මෙහෙයුම් සිදු කරනු ලබන නාවික පුද්ගලයින් හට නෞකා වෙත ගොඩවීමේ මෙහෙයුම්, ගොඩවීමේ ක්‍රියා පටිපාටිය සහ සාගරික නීතිය බලගැන්වීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබා දීමයි.

ඒ අනුව, විශේෂ යාත්‍රා බලඝනයේ උපදේශකවරුන් හා මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ පුහුණු උපදේශකයින් විසින් සති දෙකක කාලයක් තිස්සේ ත්‍රිකුණාමලයේදී මෙම පාඨමාලාව පවත්වනු ලැබූ අතර, පාඨමාළාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් 24 දෙනෙකු සහභාගී වූ බව නාවික හමුදාව පවසයි.

මෙම පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව එයට සහභාගී වූවන් හට සහතික පත් පිරිනමන ලද අතර මෙම අවස්ථාව සඳහා මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ නියෝජ්‍ය ප්‍රධානී සිරි බියුනේ මහත්මිය, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අනුර ධනපාල, විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී කපිතාන් නිශ්ශංක වික්‍රමසිංහ, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ නිලධාරීන් සහ විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණු උපදේශකයින් පිරිසක් සහභාගී වී සිටියහ.

තවද, කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් මෙම පාඨමාලාව සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.