ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ජාතික ආරක්ෂක උපදේශක ලේකම් කාර්යාලය කොළඹදී විවෘත කෙරේ

මාර්තු 01, 2021
  • ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ  ජාතික ආරක්ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික සමුළුවේ සාකච්ඡාවල  ප්‍රතිඵලයක් ලෙස  සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ජාතික ආරක්ෂක උපදේශක ලේකම් කාර්යාලයක් කොළඹ ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පිහිටුවන ලදී.

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ (විශ්‍රාමික), නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න  සහ ඉන්දියාවේ සහ මාලදිවයිනේ ආරක්ෂක උපදේශකයන් ද  එම   විවෘත කිරීමේ උත්සවයට සහභාගී විය.

ඉන්දියානු සාගරය ලෝකය තුළ සුවිශේෂ ස්ථානයක් වන බැවින් සමස්ථ ලෝකයටම මෙම ප්‍රයත්නය තුළින් ප්‍රතිලාභ ලැබෙනු ඇති  බව විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය කොළඹගේ   පැවසීය.

මෙම අංගසම්පූර්ණ නව ලේකම් කාර්යාලය පැය 24 පුරාම  ක්‍රියාත්මක වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් උළුගේතැන්න  පැවසීය.

ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන  ජාතික ආරක්ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික සමුළුව 2020 නොවැම්බර් 27 සහ 28 යන දිනවල කොළඹදී පැවැත්වීය. බංග්ලාදේශය, සීෂෙල්ස් සහ මොරිෂස් යන රටවල්  නිරීක්ෂණ රාජ්‍යයන් ලෙස සමුළුව නියෝජනය කළහ.