ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 70 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

මාර්තු 02, 2021

ශ්‍රී ලාංකීය ගුවන්තලයේ ආරක්ෂකයන් වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අද (මාර්තු 2) දින අභිමානයෙන් යුක්තව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් කටුනායක මූලික කඳවුරේදී සමරනු ලබයි.

ඒ අනුව මෙම සංවත්සර දිනය ගුවන් හමුදා සම්ප්‍රදායයන්ට අනුකූලව උත්කර්ෂවත් ලෙස හා තේජාන්විතව සමරනු ලබයි.

70 වන සංවත්සරය වෙනුවෙන් ගුවන් සංදර්ශන , අංක 5 සහ 6 බලඝනයන් වෙත ජනාධිපති වර්ණ පිළිගැන්වීම ඇතුළු වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.

1951 මාර්තු 02 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ලෙස ආරම්භ වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව 1972 වර්ෂයේ දී ශ්‍රි ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් අනතුරුව ශ්‍රි ලංකා ගුවන් හමුදාව ‍ලෙස වෙනස් කෙරිණි.

‘සුරකිමු ලකඹර ’ තේමා පාඨය පෙරදැරිව ශ්‍රී ලංකා ගුවන ආරකෂා කරගැනීම සඳහා මෙන්ම අනාගත අභියෝගයන් ජය ගැනීම වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන අතර මේ වන විට හමුදාපතිවරු 17 දෙනෙකු ගුවන් හමුදාව සඳහා දායකත්වය ලබා දී ඇත.

දශක තුනක් පුරා පැවති ත්‍රස්තවාදය තුරන් කර රට තුළ සාමය ස්ථාපනය කිරීම සඳහා අතිමහත් මෙහෙවරක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කර ඇති අතර වර්තමානයේ රටේ සිදුවන සංවර්ධන කටයුතු සඳහා ද පූර්ණ සහයෝගය ලබාදේ.

70 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කර ඇති ගුවන් සංදර්ශනය සඳහා ඉන්දීය ගුවන් හා නාවික හමුදා වලට අයත් ගුවන් යානා 23 ක් මෙරටට පැමිණඇත.

හෙට දින ගාලුමුවදොර පැවැත්වීමට කටයුතු කර ඇති මෙම ගුවන් සංදර්ශනය සඳහා හෙලිකොප්ටර් සංදර්ශන හා ගුවන් කරනම් කණ්ඩායම් ඇතුළු තවත් ඉන්දීය ගුවන් යානා එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සංවත්සර දින සැමරුමට සඳහා ඉන්දීය ගුවන් හා නාවික යානා සමග කාර්යය මණ්ඩල සහභාගී වීම දෙරටේ හමුදා අතර මිත්‍රශීලී ද්විපාර්ශික සබඳතාවන් සළකුණු කරනු ඇත.