‘සඳහිරු සෑය’ සඳහා නිධන් වස්තු භාර ගැනේ

මාර්තු 19, 2021

නාඋයන ආරණ්‍ය සේනාසනයේ වැඩවසන අගුල්ගමුවේ ආරියනන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා නිධන් වස්තු විශාල ප්‍රමාණයක් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත අද (මාර්තු 19) දින අමාත්‍යාංශයේදී භාරදීමට කටයුතු කෙරිණි.

පිරුවානා පොත් වහන්සේ, බුද්ධ ප්‍රතිමා, බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ ආදර්ශ ආකෘතියක් හා වටිනා ගල් වර්ග ඔබ්බන ලද විචිත්‍රවත් ස්ථූප ආකෘති ගණනාවක් ද පිරිනමන ලද නිධන් වස්තු අතර වේ.

අනුරාධපුර සඳහිරු සෑයේ හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කිරීම සඳහා එළඹෙන මාර්තු 28 වන දින සංවිධානය කෙරෙන ආගමික උත්සවය වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදුකර ඇත.

මෙම දැවැන්ත ස්ථූපයේ ධාතු ගර්භයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති අතර නිධන් වස්තු තැන්පත් කිරීමෙන් අනතුරුව හතරැස් කොටුවේ ඉදිකිරීම් ආරම්භ කෙරේ.

මාර්තු 20 සිට 27 දක්වා සඳහිරු සෑ භූමියේදී මෙම උදාර අරමුණ වෙනුවෙන් රට පුරා සිටින බැතිමතුන්ට නිධන් වස්තු පූජා කිරීමට අවස්ථාව සලසා ඇත.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ මෑතකදී පැවති මාධ්‍ය හමුවකදී ජෙනරල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ සාමාන්‍ය ජනතාවගෙන් ලැබෙන සියලු නිධන් වස්තු භාරගැනීම සඳහා විශේෂ කමිටුවක්ද පත්කර ඇති බවයි.

මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් ද සහභාගී වූහ.