ආගමික ආශිර්වාද මධ්‍යයේ සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කෙරේ

මාර්තු 28, 2021

ශ්‍රී ලංකා ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින්, ඓතිහාසික අනුරාධපුර පූජා නගරයේ ඉදිවෙමින් පවතින සඳහිරු සෑයේ හතරැස් කොටුවේ නිධන් වස්තු හා පූජනීය ධාතූන්වහන්සේලා තැන්පත් කිරීමේ පුන්‍යෝත්සවය මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාදය මධ්‍යයේ අද (මාර්තු 28) දින සඳහිරු සෑ පරිශ්‍රයේදී පැවැත්විණි.

මහා සංඝරත්නය සහ සැදැහැවතුන් විසින් පූජා කරන ලද වටිනා නිධන් වස්තු විශාල එකතුවක් සමගින් ස්තූපයේ සවිස්තරාත්මක තොරතුරු ඇතුලත් කර සකස් කරන ලද කැටයම් කළ ශිලා ලේඛනයක් මෙම ඓතිහාසික ආගමික උත්සවයේදී සෑය තුළ තැන්පත් කරන ලදි.

මෙම ව්‍යාපෘතිය මෙහෙයවන නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් මහා ස්ථූපයේ හතරැස් කොටුවේදී පූජනීය ධාතූන් සහිත කරඬුව මහා සංඝයා වෙත පූජා කළේය.

ආගමික වතාවත් මධ්‍යයේ මහා සංඝරත්නය විසින් සියලු පූජනීය ධාතූන්වහන්සේලා හා නිධන් වස්තු තැන්පත් කිරීම සිදුවිණි.

මෙම දැවැන්ත ස්තූපයේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිම කිරීම වෙනුවෙන් පිරිත් දේශනා කිරීමද මෙහිදී සිදුවිය.     

රන් හා මැණික් ගල් ඔබ්බවා නිර්මාණය කර ඇති අඩි 3.5 ක් උස කොත් වහන්සේ හා චූඩා මාණික්‍යය අටමස්ථානාධිපති ආචාර්ය පල්ලෙගම සිරිනිවාස හිමියන් වෙත, ඒ සඳහා බැතිබර දායකත්වය ලබාදුන් ආතර් සේනානායක මැතිතුමා විසින් පූජා කරන ලදි.

ඉන් අනතුරුව මෙම චූඩා මාණික්‍යය අටමස්ථානාධිපති හිමියන් විසින් ආරක්ෂක ලේකම් වෙත භාර දෙන ලදි.

ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය විසින් ද වටිනා නිධන් වස්තු තැන්පත් කරන ලදි.

මෙම ස්තූපය ඉදිකිරීම හුදෙක්ම තම දේශය වෙනුවෙන් සිය දිවි කැපකල විරෝධාර රණවිරුවන්ට උපහාරයක් වනු පිණිස බව ආරක්ෂක ලේකම්වරයා පිරිස අමතමින් පැවසීය.

පෙර රජ දවස ඉදිකළ ස්තූප හා සමානවම මෙම ස්තූපය ද ඉදිකර අනාගත පරපුරට දායාද කිරීමට ලැබීම අපට ආඩම්බරයක් බවද ජෙනරල් ගුණරත්න පැවසීය.

දැවැන්ත ස්තූපයේ ධාතු ගර්භය සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව මෙම උත්සවය සංවිධානය කරන ලද අතර අද දින නිධන් වස්තු තැන්පත් කිරීමෙන් පසු හතරැස් කොටුවේ ඉදිකිරීම ආරම්භ කරනු ඇත.

ඒ අනුව සෑයේ පේසා වළලු සහ කොත් කැරැල්ල ඉදිකිරීම, කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය තැන්පත් කිරීම මෙන්ම කැටයම් කටයුතු ද නිම කිරීමටද නියමිතව ඇත.

දශක තුනක් පුරා පැවති කුරිරු ත‍්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම සඳහා ආරක්‍ෂක අංශ, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක සාමාජිකයින් විසින් සිදුකරන ලද ජීවිත පරිත්‍යාගයන් සහ විරෝධාර රණවිරුවන්ගේ උදාර සේවය අගය කරනු වස් ශ්‍රි ලංකාවේ පස්වන විධායක ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම මත සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදි.

පසුව වත්මන් ජනාධිපති වන හිටපු ආරක්ෂක ලේකම් අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය.

මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරී රාජකිය පණ්ඩිත ආචාර්ය පහමුනේ ධර්මකීර්ති ශ්‍රී සුමංගල හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද, රජයේ අමාත්‍යවරුන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, නාවික හා ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී, ගෘහ නිර්මාණ ශිල්පීන්, පුරාවිද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ බැතිමතුන් හා ආරාධිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.