සඳහිරු සෑයේ නිදන් වස්තු තැන්පත් කළ වගයි

අප්‍රේල් 03, 2021

රජ කාලයෙන් පසු ඉදි වන සුවිසල් දාගැබ

තාරක වික්‍රමසේකර

තිස් වසරක් තිස්සේ මෙරට පැවැති ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූයේ හැත්තෑ දහසකට අධික ජීවිත රටට අහිමි කරමිනි. ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ තරුණ ජීවිත 29,000කට අධික සංඛ්‍යාවක් යුද්ධය වෙනුවෙන් පුද කළ අතර, නිරායුද සිවිල් ජනතාව මෙන්ම බෙදුම්වාදයට යොමු කළ උතුරු හා නැඟෙනහිර ජනතාවගේ ජීවිතද මේ සංඛ්‍යාවට අයත් ය.

මෙහිදී විශේෂයෙන් ම අප සඳහන් කළ යුත්තේ රට රැක ගැනීම වෙනුවෙන් මරණය දකිමින් රට බේරා ගැනීම වෙනුවෙන් සටන් වැදුණු රණවිරුවන් ගැනය. ඔවුන් එදා ජීවිත පූජා නොකළා නම් අපට ජීවත්වන්නට රටක් ඉතිරි වන්නේ නැත.


ආරක්ෂක ලේකම්වරයා විසින් අටමස්ථානාධිපති හිමියන්ට නිදන් කිරීම පිණිස නිදන් වස්තු පිරිනැමූ අවස්ථාව.

යුද ජයග්‍රහණ වෙනුවෙන් අතීත රජ දරුවන් ද වෙහෙර විහාර ඉදි කර තිබේ. ගිරි නිගණ්ඨයා පළවා හැර අභයගිරිය සාදන්නට වළගම්බා රජු කටයුතු කෙළේ ද එවන් එක් සිහි කිරීමක් උදෙසා ය. එළාර රජු පරාජයට පත් කර රට එක්සේසත් කිරීමෙන් අනතුරුව දුටුගැමුණු රජතුමා ද වෙහෙර විහාර රැසක් ඉදි කළේ ය.

එවන් අතීත ශ්‍රී විභූතියක් ඇති ශ්‍රී ලංකාවේ මෑත දශක ගණනාවක ඉතිහාසයේ අප මුහුණ දුන් බෙදුම්වාදී යුද්ධය වෙනුවෙන් දිවි පිදූ මෙන්ම රණක්ෂිතයට පත් රණවිරුවන් උදෙසා කළ ගුණ සැලකීම වෙනුවෙන් අතීත ශ්‍රී විභූතියට හිමිකම් කියන අනුරාධපුරයේ ම සුවිසල් දාගැබක් ඉදි කරන්නට සැලසුම් කොට ඇත. ඒ අනුව එවකට ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මැතිතුමා 2010 වසරේ නොවැම්බර් 22 වැනිදා ඒ වෙනුවෙන් වැඩ කටයුතු ආරම්භ කළේ ය. තිස් වසරක යුද්ධය අවසන් වූයේ 2009 වසරේ මැයි මස 19 වැනිදා වන අතර මේ සෑය එම විරුවන්ගේ දිවි පිදීම හා රණක්ෂිතභාවයට පත් වීම වෙනුවෙන් කරන්නා වූ කළ ගුණ සැලකීමක් ලෙස පෙන්වා දිය හැකිය. ආරම්භයේ දී එම සෑයට ‘රණවිරු සෑය‘ යන නම යොදන්නට තීරණය කළ ද, පසුව එය සඳහිරු සෑය යන නමින් හඳුන්වන්නට වූයේ සඳ හිරු පවතිනා තුරු විරාජමාන ව පවතිනු ඇතැයි යන සංකල්පයෙන් යුක්තවයි. රජයට බරක් නොවන සේ පරිත්‍යාගශීලීන්ගෙන් මෙන්ම රණවිරුවන්ගේ වැටුපෙන් ඉතා සුළු මුදලක් ලබා ගෙන එහි ඉදි කිරීම් කටයුතු සිදු කරන්නට එදා යෝජනා වුණි.

ඒ අනුව වත්මන් ජනපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ මෙහෙයවීම හා අධීක්ෂණය ඇතිව මෙරට විශාලත්වයෙන් හතරවැනි චෛත්‍යය රාජයාණන් වහන්සේ ලෙස අනුරාධපුරයේ මහ මෙවුනා උයනට අයත් භූමි භාගයක ඉදි කිරීම් ආරම්භ කෙරුණි. 2014 වසරේ නොවැම්බර් 23 වැනිදා සෑයේ ගර්භයේ ධාතුන් වහන්සේ නිදන් කිරීමද සිදු කෙරුණි. ඒ වෙනුවෙන් කිලෝ 8ක දඹ රන්පිළිමයක් නිදන් කෙරුණි.

සඳහිරු සෑයේ උස අඩි 282 අඟල් 6 ක් වන අතර එය මෙරට උසින් සිවුවැන්න වීමේ ගෞරවයට හිමිකම් කියයි. එය දෙවෙනි වන්නේ රුවන්වැලි මහා සෑය, අභයගිරිය හා ජේතවනාරාමයට පමණක් වීමද විශේෂත්වයකි. සැයේ විෂ්කම්භය අඩි 255 ක් වන අතර වට ප්‍රමාණය අඩි 801කි. සඳහිරුසෑය ඉදිවන සම්පූර්ණ භූමිය අක්කර 13ක් වන අතර, වැලි මලුව අක්කර 6ක් රූඩ් එකක් හා පර්චස් 30 ක භූමි භාගයකට අයත්ය. සලපතල මළුවට අක්කර 4 ක් හා රූඩ් 2 ක් අයත් වන අතර වෛත්‍යය ආවරණය වන භූමි ප්‍රමාණය අක්කරයක් හා පර්චස් 20 කි.

බුබ්බුලාකාර හැඩයෙන් ඉදිවන සඳහිරු සෑය ඉදිකිරීමට පාදම සකස් කිරීම නවීන තාක්ෂණය අනුව සිදුකරන්නට ඉදි කිරීම් කටයුතු කරන යුද හමුදා ඉංජිනේරු අංශය විසින් කටයුතු කර තිබේ. ‘සඳහිරු පවතින තුරු පවතින්නට යෝජිත සෑයේ අත්තිවාරම පොළොව මට්ටමේ සිට අ‍ඩි 45 ක් යටට කළුගල් ස්ථරය හමුවන තෙක් යොදා තිබේ. කිසිදු කම්පනයකින් ගිලා නොබසිනා ලෙසින් එය ඉදි කරන්නට එලෙස කටයුතු කර තිබේ.

එවන් ක්‍රමවේදයකින් මේ සෑය ඉදි කරන්නට වැලි කලුගල් ඇතුළු පහසුකම් සපයා දෙන්නට ගුවන් හමුදාවත්, නාවික හමුදාවත් මේ සඳහා සහාය වේ. එහෙත් වැඩි දායකත්වයක් වැඩි බරක් දරන්නේ යුද හමුදාව විසිනි.


මැදගොඩ අභයතිස්ස නාහිමියන් හා ආරක්ෂක ලේකම්වරයා විසින් හතරැස් කොටුවේ නිදන් වස්තු තැන්පත් කළ අවස්ථාව

මේ වන වට සෑ රදුන්ගේ ඉදි කිරීම් හතරැස් කොටුව දක්වා ඉදි කර අවසාන ය. පසුගිය මැදින් පුන් පොහෝ දින එහි හතරැස් කොටුවේ නිදන් වස්තු තැන්පත් කිරීම පැවැත්වුණි. පුන් පොහෝ දින සීල සමාදන ඇතුළු විහාරස්ථානයන්හි වැඩ කටයුතු රාශියක් තිබුණ ද ඒ වෙනුවෙන් මෙරට මහා සංඝරත්නය සිය ගණනක් වැඩම කර සිටියහ. නිදන් වස්තු තැන්පත් කිරීමට පෙර සෑයේ පළඳවන්නට යෝජිත චූඩා මාණික්‍යය අලංකාර පෙරහරින් වැඩම කරවනු ලැබීය. චූඩා මාණික්‍යය භික්ෂූන් වහන්සේ ඇතුළු ප්‍රභූවරුන්ගේත් ජනමාධ්‍යවේදීන්ගේත් වන්දනාවට පාත්‍ර විය.

රැස්ව සිටි පිරිස පංචශීලයේ පිහිටුවා ආගමික වතාවත් ආරම්භ කරණු ලැබුවේ සෝමවතී රජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ සුමංගල නා හිමියන් විසිනි.

මේ අවස්ථාවට අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමි, රුවන්වැලි මහ සෑ විහාරාධිකාරී පල්ලේගම හේමරතන නා හිමි ඇතුළු මහා සංඝරත්නය විශාල පිරිසක් සහභාගි වූහ. එමෙන්ම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන, ෂෙහාන් සේමසිංහ ඇතුළු මැති ඇමැතිවරු ද, ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සෙනරත් බණ්ඩාර, පොලිස්පති චන්දන වික්‍රමරත්න, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් නන්දන සේනාධීර ඇතුළු ත්‍රිවිධ හමුදාවේ විශාල පිරිසක් ද සහභාගි වූහ. හතරැස් කොටුවේ නිදන් වස්තු තැන්පත් කිරීම සනිටුහන් කරමින් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නා හිමිපාණන් වහන්සේ විසින් හතරැස් කොටුවේ නිදන් වස්තු තැන්පත් කරනු ලැබූහ.

පසුව හතරැස් කොටුවට වැඩම කළ සෙසු මහා සංඝයා වහන්සේ ද නිදන් වස්තු තැන්පත් කළ අතර ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද හමුදා ප්‍රධානීන් සියලු දෙනාද සෙසු ආරක්ෂක නිලධාරීහුද නිදන් වස්තු තැන්පත් කළහ.

මෙම දුර්ලභ අවස්ථාවට සහභාගි වූ මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාද නිදන් වස්තු තැන්පත් කෙළේ ඉන් අනතුරුවයි. මෙහි විශේෂත්වය වන්නේ හතරැස් කොටුවේ සියලු වැඩ කටයුතු අවසන් වන තුරු ආරක්ෂක ලේකම්වරයා එහි රැඳී සිටීමයි. රුපියල් කෝටි විස්සක් වටිනා මුතු මැණික් මෙහිදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් ලබා දීම මෑත ඉතිහාසයේ සිදු කළ විශාලතම පුණ්‍යකර්මය බවට පත්වුණි.

රට ජාතිය රැකගත් රණවිරුවන් වෙනුවෙන් ඉදි කළ මේ මහා සෑය ‘කළගුණ සෑය‘ නමින් හැඳීන්වුව ද එහි වරදක් නොවන බව මෙහිදී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ ය. එමෙන්ම පළාත් 9 ම ආවරණය වන පරිදි මෙවන් සෑයක් ඉදි කළ යුතු බව මෙහිදී අනුශාසනාවක් කළ ලංකාරාමාධිකාරී රැළපනාවේ ධම්මජෝති හිමියෝ පෙන්වා දුන්හ. මේ විරුවන් විසින් තිස්වසරක් යුද්ධය වෙනුවෙන් සිදු කළේ සිය ජීවිත පූජාවෙන් බව අප අමතක නොකළ යුතුය.

එමෙන්ම තවමත් රෝදපුටුවලට වී කිහිළිකරුවෙන් පවා ජීවිතය ගැට ගසා ගන්නා සහ සමස්ත ජීවිත කාලයම ඇඳක් මතට වී දිවි ගෙවනා රණවිරුවන් තිස් දහසකට අධික පිරිසක් අප රටේ සිටින බව ද අප අමතක නොකළ යුතුය. ඔවුන් වෙනුවෙන් කළ ගුණ සැලකීම පිණිස ඉදි කළ ‘සඳහිරු සෑය‘ සඳහිරු පවතිනා තුරු තිබේවා යන්න අපගේ ද පැතුම විය යුතු වන්නේ රජ කාලයෙන් පසුව ඉදි කළ විශාලතම ස්තූපය ‘සඳහිරු සෑය‘ වන හෙයිනි.

උපුටා ගැනීම : https://www.budusarana.lk