ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට වසර 140 ක් සපිරේ

අප්‍රේල් 04, 2021

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 140 වන සංවත්සර දිනය ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩගේ ප්‍රධානත්වයෙන් හමුදා සම්ප්‍රදායානුකූලව අභිමානවත් අයුරින් සාලාව, කොස්ගම පිහිටි බලසේනා මූලස්ථානයේ දී සමරන ලදි.

වර්ෂ 1881 අප්‍රේල් 01 දින දක්වා දිවෙන ස්වෙච්ඡා බලසේනා ඉතිහාසය තුළ 1899-1902 බෝයර් යුද්ධයේදී මෙන්ම පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධයේදී සිය දායකත්වය ලබා දී ඇත. රටේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ස්වෙච්ඡා බලසේනාව විසින් සිදු කළ කැපවීම ප්‍රශංසනීය වේ.

මේ වන විට දිවයින පුරා පිහිටි ස්වේච්ඡා බලඇණි 84 ක 55000 කට අධික සෙබළුන් සංඛ්‍යාවක් සමගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන විශාලතම බළකාය වන අතර ත්‍රස්තවාදයට එරෙහි සටනේදී විශිෂ්ට දායකත්වයක් ලබා දී ඇත.

අප මාතෘ භූමිය උදෙසා දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කළේය.

මෙම සංවත්සර සැමරුම් උත්සවය ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සර්ව රාත්‍රික ‘පිරිත්’ සජ්ජායනාවක් පවත්වමින් හා හමුදා සම්ප්‍රදායානුකූලව පවත්වන ලද අතර සිවිල්-හමුදා සුභසාධන ව්‍යාපෘතින් ද සිදුකරන ලදි.