සිසුන් සඳහා ජල ක්‍රීඩා තරගාවලියක්

අප්‍රේල් 07, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය තිස්ස විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් සඳහා ජල ක්‍රීඩා තරගාවලියක් පසුගියදා සංවිධානය කර තිබුණි.

එහිදී 6, 7 ශ්‍රේණි 9, 10, 11 ශ්‍රේණි සහ ශිෂ්‍යාවන් සඳහා විවෘත වශයෙන් ඛාණ්ඩ තුනක් ලෙස ‘කායක්’ තරග ඉසව් සහ ගුරුභවතුන් සඳහා එක් ‘කායක්’ ඉසව්වක් වශයෙන් ත්‍රිකුණාමලය ඇතුල් වරායේ පෙපර්පොට් (Pepperpot) ජැටියට යාබද මුහුදු තීරයේදී මෙම තරගාවලිය පැවැත්විණි.

ඉදිරි පරම්පරාව තුළ ජල ක්‍රීඩා සඳහා කුසලතා වර්ධනය කිරීමේ පියවරක් ලෙස මෙම තරගාවලිය සංවිධානය කර තිබුණි.

සති දෙකකට ආසන්න කාලයක් ජල ක්‍රීඩා සම්බන්ධයෙන් පැවැත්වූ පුහුණු වැඩසටහනකින් පසු මෙම තරගාවලිය පැවැත්වූ බව නාවික හමුදාව පැවසීය.

නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයි එන් ජයරත්න ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානය කළේය.

රියර් අද්මිරාල් ජයරත්නගේ මඟ පෙන්වීම මත නාවික හමුදාවේ හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනය සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේ නාවික ශිල්පීය පාසල විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදී.

ත්‍රිකුණාමලය කළාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක ඇතුළු පළාත් හා කළාප අධ්‍යාපන නිලධාරීන්, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, අණදෙන නිලධාරීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසු දරුවන් මේ අවස්ථාව සඳහා සහභාගී විය.