ඉදිරි තෙදින තුල “සයිනොෆාම්” එන්නත සඳහා අනුමැතිය

මැයි 08, 2021
  • ජනාධිපති හා ලෝක සෞඛ්‍ය සංවිධානය අතර සාකච්ඡා සාර්ථක වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩ්හැනොම් (Tedros Adhanom) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර ඊයේ (07) දින ජනාධිපති කාර්යාලයේ සිට සූම් (ZOOM) තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාව සාර්ථක වු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කොවිඩ් පළමු රැල්ලට සාර්ථකව මුහුණ දෙමින් ව්‍යයසන පාලනය කිරීම සඳහා ජනාධිපති ලබාදුන් නායකත්වය හා කොවිඩ් පාලනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට ප්‍රශංසාව පල කල ටෙඩ්‍රොස් මහතා ඒ සඳහා පුර්ණ සහාය ලබාදෙන බව පැවසීය.

එහිදි ශ්‍රි ලංකාව ලබාගත් සාර්ථකත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැවති සමුළුවලදී සාකච්ඡාවට ලක් කෙරුණු බව ඔහු පැවසීය.

වර්ථමානයේ කොවිඩ් වෛරසය පැතිරීම ඉතා ඉක්මනින් පාලනය කිරීමට ශ්‍රි ලංකා රජයට හැකි වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු වේ.

දෙවන මාත්‍රාව සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 20ක අවශ්‍යතාවක් ගෝලීය පවතින අතර මෙරට එහි අවශ්‍යතාවය මාත්‍රා ලක්ෂ 06 කි. 

එය සපුරාලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ලැබෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපති තුමා මෙම සාකච්ඡාවේදී පැවසීය.

හදිසි භාවිතය සඳහා සයිනොෆාම් එන්නත භාවිතය සඳහා අනුමැතිය ඉදිරි තෙදින තුල ලබාදීමට හැකිවෙතැයි මෙහිදි සඳහන් විය. එවිට මෙරට ජනතාවගේ වැඩිම පිරිසකට එම එන්නත ලබාදීමට හැකි වනු ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය කලාපීය මටිටමින් හා කොළඹ පිහිටි කාර්යාලයෙන් ලබාදෙන සහායෝගය පිළිබඳව ජනාධිපති තුමා මෙහිදි සිය ප්‍රශංසාව පල කල බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් පවසයි.