වාර්ෂික ප්‍රධාන පෙරහැරවලට ආරක්‍ෂාව සැපයීම පිළිබඳ ආරක්‍ෂක ලේකම්ගේ අවධානය

ජුනි 27, 2019

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතාගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථාන භාර ප්‍රධාන නාහිමිවරුන් හා විහාරස්ථාන භාරකරුවන් අතර වාර්ෂික පෙරහැර උත්සවයන් පැවැත්වීමට සමගාමීව ඒ සඳහා සැලසිය යුතු ආරක්‍ෂක විධිවිධාන පිලිබඳව සාකච්ඡාවක් අද (ජූනි 27) දින අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

දේශීය ආගමික හා සංස්කෘතික වශයෙන් ඉතා වැදගත් සාම්ප්‍රදායික අංගයක් වන ඓතිහාසික පෙරහැර සංවිධානය කිරීම සදහා වන ආරක්‍ෂාව සැපයීම පිලිබඳව වැදගත් වන කරුණු රාශියක් පිලිබඳව මෙහිදී අවධානය යොමු කරන ලදී. දේශීය හා විදේශීය බොහෝ පිරිස් මෙම වර්ණවත් පෙරහැර නැරඹීම සඳහා පැමිණේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව ජනතාවගේ සහ ජනතාව ගැවසෙන ස්ථානවල පූර්ණ ආරක්‍ෂාව සහතික කිරීම සදහා වන සියලු විශේෂ විධිවිධානයන් යෙදීමට නියමිතය. මේ සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන බවට ආරක්‍ෂක ලේකම්වරයා සහතික විය.

කැලණිය රජමහ විහාරය, මහියංගනය රජමහ විහාරය හා බෙල්ලන්විල රජමහ විහාරයේ විහාරස්ථාන භාර ප්‍රධාන නාහිමිවරුන්, නවගමුව පත්තිනි දේවාලයේ බස්නායක නිළමේතුමන්, දළදා මාලිගාව ඇතුළුව වැදගත් විහාරස්ථාන කිහිපයක භාරකරුවන් සහ ජාතික බුද්ධි ප්‍රධානී, හමුදා සම්බන්ධතා නිලධාරි හා ත්‍රිවිධ හමුදා ඡ්‍යේෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.