ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් දානමය පිංකමක්

ජුලි 23, 2019

පාස්කූ ඉරිදා දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය ගිය අයවළුන්ට පිං අනුමෝදන් කිරීම හා තුවාලවූවන්ට ඉක්මන් සුවය පතා පවත්වන ලද තෙමස් පූර්ණ ‘පිංකම’ ඉකුත් ඉරිදා (21) දින අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම ආගමික උත්සවය ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලදී. අප්‍රේල් මස 21 වන පාස්කූ ඉරිදා දින සිදු වූ අවාසනාවන්ත සිදුවීම සිහිපත් කරමින් හින්දු, ඉස්ලාම් සහ කතෝලික ආගම්වල පූජකවරුන්ගේ සහභාගීත්වයෙන් සර්ව ආගමික වතාවත් ද සිදු කරන ලදී.

මෙම ආගමික වතාවත් මෙහෙයවනු ලැබුවේ අග්ග මහා පණ්ඩිත අමරපුර නිකායේ අති පූජ්‍ය ශ්‍රී ධම්මාවස මහා නායක හිමියන් විසිනි. මේ අවස්ථාවට සහභාගිවූ හින්දු, ඉස්ලාම් සහ කතෝලික ආගම්වල පූජකවරුන් විසින් ආගමික ආශිර්වාදයන් සිදු කරන ලදී.

දානමය පුණ්‍ය කර්මය සදහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා ද සහභාගී විය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය ත්‍රිවිධ හමුදා,පොලිස්,විශේෂ කාර්ය බලකා සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයන් හා එක්ව මෙම උත්සවය සංවිධානය කරන ලදී.

ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී සහ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.