දිවංගත ෆැස්ලි ලෆීර් අනුස්මරණ දේශණය - ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය ශ්‍රී ලංකාව

අගෝස්තු 07, 2019

ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය ශ්‍රී ලංකාව (INSSSL) හිදී වාර්ෂික දේශණ මාලාවේ එක් දේශණයක් අද (අගෝස්තු 07) දින බත්තරමුල්ල සුහුරුපාය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙම දේශණය 1996 ජූලි 18 වන දින ත්‍රස්තවාදීන් විසින් මුලතිව් හමුදා කඳවුර වැටලීමෙන් පසුව එවකට 1 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස රාජකාරී කල අභාවප්‍රාප්ත කර්නල් ෆැස්ලි ලෆීර් පීඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ත්‍රස්තවාදීන්ගෙන් කඳවුර මුදවා ගැනීම සඳහා මෙහෙයුමක් දියත්කල අතර එම මෙහෙයුමේදී එම නිලධාරී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව දරුණු ලෙස තුවාල වී සිටියද තම යටත් පිරිසට නායකත්වය දෙමින් එඩිතරව මෙහෙයුම සඳහා අණදෙන්නට විය. නමුත් පසුව යුධ බිමේදී පිපිරීමකට ගොදුරුව සිය ජීවිතය පූජා කරන ලදී.

සිය සහෝදර සෙබළුන් 1500 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමේ අභීත අධිෂ්ඨානයෙන් ඔහු විසින් තම ජීවිත අවදානමද පසෙකලා සිදුකල ක්‍රියාව අගයමින් ඔහු හට “පරම වීර විභූෂණ” පදක්කම හිමි වූ අතර ඉන් පසුව ඔහු කර්නල් නිලයට උසස් කරන ලදී.

මියගිය රණවිරුවන් සිහිපත් කරමින් මොහොතක නිශ්ෂබ්දතාවයක් රැකීමෙන් පසුව දේශණය ආරම්භ විය. ඉන් අනතුරුව අභාවප්‍රාප්ත කර්නල් ලෆීර් පිළිබඳව වන වීඩියෝ පටයක් ඉදිරිපත් කරන ලදී. ආරක්ෂක ලේකම්තුමන්ගේ පණිවිඩය, ආරක්ෂක ලේකම්තුමාගේ සම්බන්ධීකරණ ලේකම් සහ උපදේශක සුරේන් දයාරත්න මහතා විසින් කියවන ලදී. “යුධ වීරයකු වූ කර්නල් ලෆීර් පීඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී” යන තේමාව යටතේ බ්‍රිගේඩියර් එච්පී රණසිංහ දේශණය සිදුකරන ලදී. විශේෂ බලකා නිර්මාතෘ මේජර් ජෙනරාල් (විශ්‍රා) ගාමිණී හෙට්ටිආරච්චි මහතාද එම අවස්ථාවේ අදහස් දැක්වීය.

අනෝමා ලෆීර් මහත්මිය, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය ශ්‍රී ලංකාව - අධ්‍යක්ෂ ජනරාල් අසංග අබේගුණසේකර මහතා, යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් එස්කේ පතිරණ ඇතුලු ජ්‍යේෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, විශේෂ කාර්ය බලකා සේනාවිධායක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්ආර් ලතීෆ්, හිටපු හමුදාපතිවරුන්, විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ විශේෂ ආරාධිතයින් මෙම අවස්ථාවට සහභාගී විය