අසාධ්‍ය තත්වයේ පසු වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි

අගෝස්තු 08, 2019

ඉරණතිව් දුපතේදී නාගයකු දෂ්ඨ කිරීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටි දේශීය ධීවරයෙකු අඟහරුවාදා (අගෝස්තු 06) දින නාවික හමුදා භටයන් විසින් ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එන ලදී. නාවික හමුදා මාධ්‍ය වාර්තා වලට අනුව, ඉරණතිව් නාවික අනුඛණ්ඩයේ සිටින නාවික භටයින්ට විපතට පත්ව සිටි ධීවරයා නිරීක්ෂණය වී ඇති අතර ඉන් පසුව ඒ පිලිබදව ඉහල බලධාරීන් දැනුවත් කර ඇත.

ඊට ප්‍රතිචාර වශයෙන්, උතුරු මැද නාවික විධානය විසින් නාවික හමුදා වෛද්‍ය අංශයේ නාවිකයෙකු ද සමග වෙරළබඩ මුර යාත්‍රාවක් ඉරණතිව් දූපත වෙත පිටත් කර යවා ඇත. ඉරානමාතා ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 64 ක් වූ මෙම පුද්ගලයාට මුලික ප්‍රථමාධාර ලබා දී ගොඩබිම වෙත රැගෙන එන ලදී. ඉන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගියා මුලන්කාවිල් රෝහල වෙත ඇතුලත් කර ඇත. නාවික හමුදාවේ කාලෝචිත ක්‍රියාමාර්ගය හේතුවෙන් ධීවරයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට හැකි විය