කාලගුණ වාර්තා වලට අනුව තද සුළං තත්වයක්

අගෝස්තු 09, 2019

ඉදිරි දින කිහිපය තුළ කාලගුණික තත්ත්වයේ වෙනසක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක හදිසි සුළං තත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අණතුරු අඟවා තිබේ. ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය පූර්ව අනතුරු ඇඟවීමේ අවවාධාත්මක රතු අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් පවසා ඇත්තේ උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් (විශේෂයෙන්ම සවස් කාලයේදී සහ රාත්‍රි කාලයේදී ) සුළගේ වේගය පැ. කිලෝමීටර 50-60 අතර විය හැකි බවයි. රටේ අනෙකුත් ප්‍රදේශවල සුළගේ වේගය පැ. කිලෝමීටර 40-50 දක්වා ඉහළ යා හැකි බව වාර්තාවේ.

බටහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මන්නාරම, යාපනය සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ද වැසි ඇති වේ.

2019 අගෝස්තු මස 09 දින උදැසන නිකුත් කල කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, මධ්‍යම, වයඹ, සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් අපේක්ෂා කල හැක.

තද සුළං නිසා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. මීගමුව සිට මඩකලපුව හරහා මන්නාරම,කන්කසන්තුරය,සහ ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මි. 60-70 දක්වා වැඩි විය හැක. විශේෂයෙන් දහවල් සහ රාත්‍රී කාලයේදී මුහුදු ප්‍රදේශ හරහා සුළගේ වේගය පැ.කිලෝමීටර 80 ක් දක්වා වැඩිවීම සිදුවිය හැකිය.

දිවයිනේ සහ අවට මුහුදු ප්‍රදේශවල පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ