නව යුද්ධ හමුදාධිපති සිය ධුරයෙහි රාජකාරී අරඹයි

අගෝස්තු 21, 2019

නව යුද හමුදාධිපති ලූතිතන් ‍ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී, ආර් ඩබ්ලිව්පී, ආර්එස්පී, පීඑස්වී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී අද (අගෝස්තු 21) දින කොළඹ යුධ හමුදා මූලස්ථානයේදී පැවති උත්සවයේදී සිය ධූරයෙහි රාජකාරි නිල වශයෙන් භාර ගන්නා ලදී.

නව යුද හමුදාපතිවරයාට සාම්ප්‍රදායික හමුදා ගෞරවාචාර පිරිනමන ලද අතර මේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් විශාල පිරිසක් සහභාගී විය. ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 යුද හමුදාපති වරයායි. අතිගරු ජනාධිපතිතුමන් විසින් එතුමන් යුද්ධ හමුදාධිපති ලෙස පත්කිරීමට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී කරන ලදී.

1984 මාර්තු මස 05 වන දින පාඨමාලා අංක 19 යටතේ කැඩෙට් නිලධාරියකු ලෙස යුද්ධ හමුදා විද්‍යාපීඨයට ඇතුලත්ව හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව 1985 නොවැම්බර් 16 වන දින අධිකාරියට පත්ව ගජබා රෙජිමේන්තුව වෙත ඇතුළත් කරන ලදි.

වසර 35 කට අධික එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුල මාණ්ඩලික අණදීම් සහ රාජ්‍යතාන්ත්‍රික තනතුරු රැසක් හොඹවා ඇත.

එතුමන් වර්ෂ 2005 දී ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨයේ උපදේශක නිළධාරියකු ලෙසද කෙඩෙට් නිලධාරි පුහුණු අංශයේ අණදෙන නිළධාරී වශයෙන් ද රාජකාරි කර ඇත. ශ්‍රී ලංකා හමුදාව මෙතෙක් බිහිකල ලාබාලතම අණදෙන නිලධාරියා වන අතර වර්ෂ 1995 දී දියත් කෙරුණු “රිවිරැස” මෙහෙයුමේදී පාබල බලඇණියට අණදීම එතුමන් විසින් සිදු කරන ලදී. යාපනය අර්ධද්වීපය එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීම සඳහා වූ මෙහෙයුම් ඉතා තීරණාත්මක අවධියක තිබූ කාල සීමාවකදී එවකට යුධහමුදාපති තුමන් විසින් ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති ලෙස එතුමන්ව පත් කරන ලදී.

වර්ෂ 2006 අගෝස්තු මාසයේ දී එතුමන් මුහමාලේ ඉදිරි ආරක්ෂක වලල්ල නැවත අත්පත් කරගැනීමට සමත් විය. ඉන් අනතුරුව එතුමන් 58 වන සේනාංකය ට සහ කමාන්ඩෝ බලසේනාවට අණදෙමින් “වන්නි මානුෂීය මෙහෙයුම” තුළ වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් වාර්තා කිරීමට සමත් විය.

මෙහෙයුම තුළ අවසන් විජයග්‍රහණය කිලෝමීටර 200 කට අධික දුරක් ගමන් කරමින් ත්‍රස්තවාදීන් සමග සටන් කළ අතර එහිදී ත්‍රස්තවාදීන් ග්‍රහණයෙන් සිවිල් වැසියන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් මුදා ගනිමින් මෙතෙක් සිදුකළ විශාලතම ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමේ මෙහෙයුමට ද එතුමන් අණදෙන ලදී. එතුමන් ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල් තනතුරට උසස් කරන ලද ලාබාලම නිලධාරියා ද විය. ඉන්පසුව ඔහු 53 සේනාංකයට අණ දුන් අතර එය අතිරේක ප්‍රහාරක බලකාය ලෙස හැඳින්වේ.

වර්ෂ 2010 දී එතුමන් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙස පත් කරන ලදී.

ඇමරිකා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ හාවඩ් විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපාධිධාරියෙකි. එතුමන් මානව සම්පත් කළමනාකරණ පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු වන අතර එක්සත් ජනපදය “මනෝවිද්‍යාත්මක මෙහෙයුම්” පුහුණුවක් ලබා ඇත. එතුමන් වර්ජිනියා හි කීර්තිමත් මැරීන් බලකා යුද්ධ විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකි.
එතුමන් වීර වික්‍රම විභූෂණය (WWV) , රණ වික්‍රම පදක්කම (RWP), රණ සූර පදක්කම (RSP), විශිෂ්ට සේවා විභූෂණ (VSV), සහ උත්තම සේවා පදක්කම (USP) යන පදක්කම් වලින් පිදුම් ලබා ඇත.

දේශය වෙනුවෙන් සිදුකරන ලද උතුම් සේවය වෙනුවෙන් එතුමන් හට එතුමාට “ශ්‍රී ලංකේෂ්වර අපරාධ මෙහෙයුම් විශාරද ජෝතිකා ධජ වීරප්‍රතාප දේශමාන්‍ය ජාතික ගෞරව නාම සම්මාන උපාධි සන්නස් පත්‍රය, වීර ගජේන්ද්‍ර සංග්‍රාමශූරී ජාතික ගෞරවනාම සන්නස් පත්‍රය සහ වීර වික්‍රම දේශාභිමානී විශ්වකීර්ති ශ්‍රී රණශූර” (පුද්ගලයකු වශයෙන් ලබාගත හැකි ඉහළම ගෞරව නම්බු නාමයෙන් යන ගෞරව නම්බු නාමයෙන්) බුද්ධ ශාසනයෙහි ත්‍රෛනිකායන් වෙතින් ප්‍රධානය කර ඇත.

බුද්ධ වර්ෂ 2600 වන සම්බුද්ධ ජයන්තිය නිමිතිකොට ගෙන නිමිති කොටගෙන රචනා කරන ලද "Sri Lankan Identity Since 2600 Years" කතෘ වන්නේද එතුමන්ය.
අද උදෑසන පැවති උත්සවයට මහා සංඝරත්නය, ආගමික නායකයින්, ජේෂ්ඨ යුධ හමුදා නිලධාරීන් සහ පවුලේ සාමාජිකයන් සහභාගී විය.