www.defence.lk වෙබ් අඩවිය නව මුහුණුවරකින් ආරක්ෂක ලේකම් විසින් නිල වශයෙන් අන්තර්ජාලයට මුදා හැරේ.

අගෝස්තු 26, 2019

ආරක්ෂක අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය www.defence.lk නව මුහුණුවරකින් නිල වශයෙන් නැවත අන්තර්ජාලයට මුදා හැරීම ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා විසින් අද (අගෝස්තු 26) දින පැවති උත්සවයකදී සිදු කරන ලදී.

වෙබ් අඩවිය නිල වශයෙන් අන්තර්ජාලයට මුදා හැරීමේ උත්සවය අද පස්වරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි

ආරක්ෂක ලේකම්ගේ සම්බන්ධීකරණ ලේකම් සහ උපදේශක සුරේන් දයාරත්න මහතා විසින් උත්සවය ආරම්භ කර වෙබ් අඩවියේ නව විශේෂාංග සහ නව අංගයන් ඇතුළත්ව වෙබ් අඩවිය පිලිබදව දළ විස්තරයක් ඉදිරිපත් කරන ලදී. ඉන් පසුව වෙබ් අඩවියේ නව මුහුණුවර සහ වැඩිදියුණු කළ අංගයන් දැක්වෙන කෙටි වීඩියෝ පඨයක් ඉදිරිපත් කිරීම සිදු විය.


පැමිණ සිටි සියලු දෙනා ඉතා උනන්දුවෙන් බලා සිටි මොහොත එලඹුනි හමුදා මාධ්‍ය  ප්‍රකාශක සහ ආරක්ෂක අමාත්‍යංශ  මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතාගේ ආරාධනයෙන් ආරක්ෂක ලේකම්තුමන්  විසින් නවීකරණය කරන ලද නව වෙබ් අඩවිය නිල වශයෙන් මුදා හැරීම සිදු කරන ලද අතර ආරක්ෂක තොරතුරු ඒකකය විසින් මාස කිහිපයක් පුරා කැපවීමෙන් සහ වෙහෙස නොබලා සිදු කල කාර්යන්හි ප්‍රතිඵලය ලොවට නිරාවරණය විය.

නව වැඩිදියුණු කළ වෙබ් අඩවිය පරිශීලනය කල ලේකම්වරයා එවැනි ආකර්ශනීය, වැඩිදියුණු කළ හා වඩා පරිශීලක හිතකාමී වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සඳහා කැපවීමෙන්  සහ වෙහෙස නොබලා වැඩ කිරීම පිළිබඳව ආරක්ෂක තොරතුරු ඒකකයේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට  සිය කෘතඥතාවය පළ කළේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශය අතිරේක ලේකම්වරුන්, ආරක්ෂක අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම්, හමුදා මාධ්‍ය  ප්‍රකාශක සහ ආරක්ෂක අමාත්‍යංශ  මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ, හමුදා සම්බන්ධතා නිලධාරි,නාවික හා ගුවන් හමුදා මාධ්‍ය  ප්‍රකාශකවරුන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරින් සහභාගී විය.  
වෙබ් අඩවියට නවතම විශේෂාංග ගණනාවක් එක් කර ඇති අතර එය වඩාත් පරිශීලක හිතකාමී, ආකර්ශනීය හා කාර්යක්ෂම වන ආකාරයට මුලික සංකල්ප මත පදනම්ව නිර්මාණය  කර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.defence.lk යනු ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය රජ්‍ය නිල වෙබ් අඩවි වලින් එකකි. මානුෂීය මෙහෙයුම් පැවති කාලයේදී මිලියන ගණනක් වූ පරිශීලකයන් පිරිසක් නැරඹු ඉතාමත් ජනප්‍රිය වූ වෙබ් අඩවියයි.

මානුෂීය මෙහෙයුම් පිළිබඳව සත්‍ය හා යාවත්කාලීන තොරතුරු සැපයීම සහ එල් ටී ටී ඊ සංවිධානය විසින් සිදු කල ප්‍රචාරණයන් හා වැරදි තොරතුරු ප්‍රචාරක ව්‍යාපාරයන්ට එරෙහිව කටයුතු කිරීම අරමුණු කරගනිමින් මෙම වෙබ් අඩවිය 2006 වර්ෂයේ අග භාගයේදී ආරම්භ කරන ලදී. මෙම වෙබ් අඩවිය ජනතාව අතර අන්තර්ජාල භාවිතය ප්‍රචලිත වීමේ මුල් අවධියේදී රට තුළ දියත් වූ අමාත්‍යාංශ නිල වෙබ් අඩවි වලින් එකකි.

මානුෂීය මෙහෙයුම් පිළිබඳ සත්‍ය හා නිවැරදි තොරතුරු සැපයීමට අමතරව ආරක්ෂක අමාත්‍යාංශය විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳ තොරතුරු ද වෙබ් අඩවිය මගින් ලබා ගත හැකිවේ.

යුද්ධය අවසන් වීමත් සමඟ, ජාතික ආරක්ෂාව පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දීම මුල් අරමුණ කර ගනිමින් ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සහ ජාතික සංවර්ධනය ඉදිරියට ගෙනයෑම ප්‍රවර්ධනය කිරීම සඳහා පුළුල් කාර්යභාරයක් වෙබ් අඩවිය මගින් ඉටු කරන ලදී.

අන්තර්ජාලය හා ජංගම දුරකථන භාවිතය ජනතාව අතර වඩාත් ජනප්‍රිය වීම හේතු කොට ගෙන විශේෂයෙන් වෙබ් අඩවියට කාලානුරූපිව වෙනසක් හා තාක්‍ෂණික වර්ධනයන් සමඟ ප්‍රචලිතවන නව ප්‍රවණතාවන්ට අනුකූලව අවශ්‍ය වෙනස්කම්  සිදු කල යුතුව තිබුණි.

මෙම නවීකරණය කරන ලද වෙබ් අඩවිය සමගින් සම්බන්ධවන ලොව පුරා සිටින අපගේ  පරිශීලකයන් හට පරිශීලක-හිතකාමී ගවේෂණ  අත්දැකීමක් එක් කරනු  ඇත. වෙබ් අඩවිය තුල සැරිසැරීමට පහසු වන හා ආකර්ෂණීය ආකාරයකින් නිර්මාණය කර ඇති අතර වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා නව අංග කිහිපයක්ද  අන්තර්ගත කර ඇත.

දෛනිකව පැය 24 පුරාම සේවය සදහා කැපවූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පිරිසක් විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධ නවතම ප්‍රවෘත්ති ඇතුළු අමාත්‍යාංශ විෂය පථයට අයත් අනෙකුත් ආයතනයන් සහ ත්‍රිවිධ හමුදාව පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකාය සම්බන්ධ තොරතුරු වෙබ් අඩවියේ නිරන්තරයෙන් යාවත්කාලීන කරනු ලැබේ. අමාත්‍යංශය විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳ තොරතුරු අවශ්‍යවන්නන් හට මෙම වෙබ් අඩවිය ඉතාමත් ප්‍රයෝජනවත්ය.
නව වෙබ් අඩවිය පරිශීලක හිතකාමී සැලසුමක් සහිත උපාංගයන්ගෙන් නිර්මාණය කර ඇත. කඩිනමින් ප්‍රවේශ විය හැකි අංගයන්ගෙන් සමන්විත වන අතර එමඟින් ගවේෂණය වඩාත් කාර්යක්ෂම හා සිත්ගන්නා සුළු කරවයි. පරිශීලක අධීක්ෂණ පද්ධතිය සහ සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය ඊට එක් වූ  තවත් නව අංග දෙකකි. මෙහි අතිගරු ජනපතිතුමන්ගේ නිල වෙබ් අඩවියට ඉක්මන් ප්‍රවේශයක් ද ඇත. තවත් විශේෂ ලක්‍ෂණයක් වන්නේ ව්‍යාජ ප්‍රවෘත්ති සත්‍යාපනය කර දැක්වීමට අවශ්‍ය පහසුකම ඇතුලත් කර තිබීමයි.