“රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහන යටතේ ඩෙල්ෆ් දූපතේ දී විශේෂ වැඩසටහනක්

අගෝස්තු 29, 2019

“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහන මේ දිනවල යාපනය දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර, ඒ හා සමගාමීව සංවිධානය කළ විශේෂ වැඩසටහනක් ඊයේ (27) දිනය පුරා ඩෙල්ෆ් දූපතේ දී පැවැත්විණි.

රාජ්‍ය නිලධාරින්ගේ අවධානය යොමු නොවූ දූපතක් වන මෙම දූපතේ ජීවත්වන පවුල් 1224කට අයත් 4200ක් පමණ වන ජනතාව ඉලක්ක කර ගනිමින් විවිධ සමාජ සුබසාධන වැඩසටහන් ඒ අනුව ඊයේ දිනය පුරා කි‍්‍රයාත්මක විය.

ඒ අතර ග‍්‍රාමශක්ති ජාතික වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ති‍්‍රවිධ හමුදාව එක්ව සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහන් ද ස්ථාන කිහිපයක දී පැවැත්විණි.

“රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහන් මාලාවේ හත්වැන්න පසුගිය 23 වනදා යාපනය දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරුණු අතර ලබන 30 වනදා දක්වා එය කි‍්‍රයාත්මකය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ජනාධිපති කාර්යාලය විසින් කි‍්‍රයාත්මක කරන ලද මෙම වැඩසටහනේ අරමුණ වන්නේ දිස්ති‍්‍රක්ක මට්ටමින් මෙතෙක් නොවිසඳුණු මහජන ගැටලු විසඳමින් සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා රාජ්‍ය යාන්ත‍්‍රණය බිම් මට්ටමින් කි‍්‍රයාත්මක කිරීමයි.

ජනාධිපති කාර්යාලය යටතේ කි‍්‍රයාත්මක ප‍්‍රධාන ජාතික වැඩසටහන් වන ජාතික ආහාර නිෂ්පාදන, මත්ද්‍රව්‍ය නිවාරණ, වකුගඩු රෝග නිවාරණ, ජාතික පරිසර සංරක්ෂණ, දරුවන් සුරකිමු, ග‍්‍රාමශක්ති, ස්මාර්ට් ශ‍්‍රී ලංකා වැනි ප‍්‍රධාන වැඩසටහන්වල ප‍්‍රතිලාභ කාර්යක්ෂමව හා විධිමත්ව ජනතාවට ලබාදීමත්, රජයේ අමාත්‍යාංශ හා වෙනත් මහජන සේවා සහ සංවර්ධන වැඩසටහන්වලට අදාළ ව්‍යාපෘති වේගවත් කිරීමත් මේ මඟින් සිදු වේ.

අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය