විශේෂ කාර්ය බලකා රණවිරු සැමරුම් උත්සවය ආරක්ෂක ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන්

සැප්තැම්බර් 01, 2019

කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී අද දින (සැප්තැම්බර් 01) පැවති 35 වන විශේෂ කාර්ය බලකා රණවිරු සැමරුම් උත්සවය සදහා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සහභාගී විය.

අද පෙරවරුවේ පුහුණු පාසල වෙත පැමිණි ලේකම්වරයා වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. උත්සවය අතරතුර, ලේකම්තුමන් විශේෂ කාර්ය බලකා රණවිරු ස්මාරකය වෙත ගොස් මියගිය රණවිරුවන් සිහිකර පුෂ්පෝපහාර දැක්වීය.

මෙම උත්සවයේ දී කෙටි දේශනයක් සිදු කරමින් ලේකම්වරයා රට වෙනුවෙන් දිවි පිදූ සහ ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ට කෘතඥතාවය පළ කළ අතර ත්‍රස්තවාදයට එරෙහි සටනේදී විශේෂ කාර්ය බලකාය විසින් සිදු කල දායකත්වය පැසසුමට ලක් කළේය. ත්‍රස්තවාදී අරගල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීමේ මෙහෙයුම්හිදී විශේෂ කාර්ය බලකාය විසින් සිදු කල මෙහෙවර ආරක්ෂක ලේකම්ගේ ප්‍රශංසාවට ලක්විය. ආරක්ෂක ලේකම්තුමන් නැඟෙනහිර ප්‍රදේශයේ රාජකාරී කල වකවානුවේදී ආරක්ෂක හමුදාවන් වෙත විශේෂ කාර්ය බලකාය විසින් ලබා දුන් සහයෝගය එතුමන් විසින් සිහිපත් කරන ලදී.

ඔවුන් විසින් සිදු කල සේවය හා පරිත්‍යාගයන් වර්තමාන පරම්පරාවට අනුගමනය කිරීමට මහගු ආදර්ශයක් සපයන බව ඔහු තවදුරටත් පැවසීය. මියගිය සහ ආබාධිත රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් හට ඔවුන් විසින් රට වෙනුවෙන් සිදු කල සහයෝගය හා කැපකිරීම් වෙනුවෙන් ලේකම්වරයා ස්තූතිය පුද කරන ලදී.

උත්සවය අතරතුර, ලේකම්තුමන් විසින් ආබාධිත විශේෂ කාර්ය බලකා සාමාජිකයින් කිහිප දෙනකු වෙත රෝද පුටු සහ කෘතිම පාද පරිත්‍යාග කිරීමද සිදු විය.

ඉන් පසුව එතුමන් පුහුණු පාසලේ නිරීක්ෂණ චාරිකාව අතරතුර සමීප සටන් පුහුණු ප්‍රදේශය සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යොදවන් ලද වාහන නරඹන ලදී.

මෙම උත්සවය සදහා ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සෝනියා කොට්ටෙගොඩ මහත්මිය, විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ්, විශේෂ කාර්ය බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා රණවිරු පවුල්වල සාමාජිකයින් සහභාගී විය.

ත්‍රස්තවාදී ගැටුම් වලදී විශේෂ කාර්ය බලකායේ රණවිරුවන් 464 දෙනකු හා සිවිල් මහතුන් 06 දෙනකු මාතෘ භුමිය වෙනුවෙන් දිවි පුදා ඇත.