ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ජංගම දුරකථන යෙදවුමක් ජනගත කෙරේ

සැප්තැම්බර් 06, 2019

ජාතික ගුවන් විදුලියේ නාලිකා ජංගම දුරකථන යෙදවුමක් ලෙස ජනගත කිරීම ජනමාධ්‍ය හා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ (සැප්තැම්බර් 05) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේදී සිදුවිය. මෙය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දශක නවයක දීර්ඝ ඉතිහාසය තුල සිදු වූ අති විශේෂ වූ සිදුවීමකි.

මෙම නව ‘යෙදවුම’ මඟින් ලොව පුරා සිටින ශ්‍රාවකයින්ට ඔවුන්ගේ ජංගම උපාංගවලින් භාෂා තුනෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධාන නාලිකාවන් ශ්‍රවණය කිරීමට හැකියාව ලැබේ.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ රාජ්‍ය අමාත්‍යවරයා නිල වශයෙන් ජංගම ‘යෙදවුම’ එළිදැක්වූ අතර එමඟින් දිවයිනේ ගුවන් විදුලි විකාශනය නව සන්ධිස්ථානයකට යොමු වනු ඇත. නව ‘යෙදවුම’ දියත් කිරීම සංකේතවත් කරමින් එතුමන් විසින් ‘කුමාරතුංග චිත්‍රාගාරයේ’ සමරු ඵලකය නිරාවරණය කළේය.

රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතා උත්සව අවස්ථාව අමතමින් නවීන තාක්‍ෂණය සමග ඉදිරියට යමින් මෙවැනි යෙදවුමක් සකස් කර ඉදිරිපත් කිරීම පිලිබදව ප්‍රශංසා කළේය. දශක නවයක දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ජාතියට අති විශාල සේවයක් සිදු කර ඇති බවත් නැගී එන ප්‍රවණතාවයන් සමඟ තරඟ කිරීමට නව තාක්‍ෂණය යොදා ගැනීම අත්‍යවශ්‍ය බව එතුමන් පැවසීය. නව ‘යෙදවුම’ සංවර්ධනය කිරීම හා ජනගත කිරීම සදහා සම්බන්ධ වූ සියලු දෙනාටම එතුමන්ගේ කෘතඥතාවය පළ කළේය.

මෙම අවස්ථාව සදහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කලුවැව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති මාලක තල්වත්ත ඇතුළු ගුවන් විදුලි සංස්ථාවේ නිලධාරීන්, අධ්‍යක්ෂ ජෙනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි, ක්‍රියාකාරී අධ්‍යක්ෂ හෙරල් සේනාධීර අනුග්‍රාහක නියෝජිතයින්, සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජනප්‍රිය කලාකරුවන් සහ විශේෂ ආරාධිතයින් සහභාගී විය.