‘දියකාවා යුද අභ්‍යාසය – 2019’ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් වේ.

සැප්තැම්බර් 09, 2019

පසුගිය සති අන්තයේ (සැප්තැම්බර් 07) මහනුවර ගැටබේ ප්‍රදේශයේදී ‘දියකාවා යුද අභ්‍යාසය – 2019’ ඒකාබද්ධ ක්‍ෂේත්‍ර යුද අභ්‍යාසයේ තවත් එක් මෙහෙයුමක් සාර්ථකව පවත්වන ලදී. මෙම අභ්‍යාසය තුළදී යුධ හා ගුවන් හමුදා භටයින් සහ නේපාල සහ බංග්ලාදේශ සෙබළුන්ගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායමක් විසින් ත්‍රස්තවාදීන් සැඟවුණු ස්ථානයක් වැටලීම සඳහා මෙහෙයුමක් සිදුකර ත්‍රස්ත නායකයා සහ අනුගාමිකයින් නිරුපද්‍රිතව අත්අඩංගුවට ගන්නා ලදී. යුද හමුදා මාධ්‍යට අනුව සෙනසුරාදා දින සිදුකරන ලද මෙම පුහුණු මෙහෙයුම දැක බලා ගැනීම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද සහභාගී විය.

4 වන විශේෂ බලකායේ (SF) සෙබළුන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් දෙකක් ගුවන් හමුදා භටයින්ගේද සහාය ඇතිව, යතුරු පැදි කණ්ඩායම් දෙකක් සහ නාගරික සටන් කණ්ඩායම් සමඟ මෙම මෙහෙයුම සිදුකර ඇත. මේ අතර, බෙල් 212 හෙලිකොප්ටර් යානයකින් 4 වන විශේෂ බලකායේ අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් දෙකක් එම ස්ථානයට ළගා විය. නාගරික සටන් සඳහා නිර්මාණය කර ඇති යතුරු පැදි කණ්ඩායම්වලින් ක්‍ෂණිකව අදාළ ස්ථානයට ළගාවී  ත්‍රස්ත නායකයා සහ අනුගාමිකයින් අත්අඩංගුවට ගන්නා ලදී. පසුව ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා ගුවන් මගින් මින්නේරිය මෙහෙයුම් මූලස්ථානය වෙත ගෙන රැගෙන යන ලදී.

පුහුණු මෙහෙයුම නිරීක්‍ෂණය සඳහා අභ්‍යාස අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි විය.