ආරක්ෂක අමාත්‍යාංශයීය සේවා වනිතා ඒකකයෙහි සභාපතිනිය ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගයේ මාධ්‍ය හමුවේ මුලසුන හොබවයි

සැප්තැම්බර් 10, 2019

ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන සෝනියා කොට්ටෙගොඩ මහත්මිය මුලසුන හෙබවූ ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා වන මාධ්‍ය හමුවක් අද දින (2019 සැප්තැම්බර් 10) අමාත්‍යාංශ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විනි. මෙම ප්‍රසංගයේ අරමුණ වනුයේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා අරමුදල් රැස් කිරීමය.

මෙම සාකච්ඡාව අමතමින් සභාපතිනිය ආරක්ෂක අංශ විසින් ඉටු කරනු ලබන රාජකාරිවල වැදගත්කම විස්තර කළ අතර මෙම ‘උදාරයි ඔබ' සංගීත ප්‍රසංගය මගින් උපයන අරමුදල් යුද වීරයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නංවාලීම සඳහා ගාල්ල, බූස්ස ප්‍රදේශයෙහි ඉදිවන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (VTC) පිහිටුවීම සඳහා යොදවන බව පැහැදිලි කලේය . මේ මස 14 වන දින (2019 සැප්තැම්බර්) නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන මෙම ප්‍රසංගය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමෙන් මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස සභාපතිනිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

යෝජිත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ආගන්තුක සත්කාර කළමනාකරණය, භාෂාව සහ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ වෘත්තීය පුහුණුවක් ලබා දෙනු ඇත. ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයෙහි සභාපතිනි සෝනියා කොට්ටෙගොඩ මහත්මියගේ සංකල්පයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

ත්‍රිවිධ හමුදාවේ, පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා නියෝජිතයින්, ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකයින් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ සාමාජිකයින්ද මෙම මාධ්‍ය හමුව සඳහා එක්ව සිටියහ.

‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය සඳහා ප්‍රවේශ පත්‍ර www.mytickets.lk වෙතින් වෙන් කරවා ගත හැකිය