කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව ඇරඹේ

සැප්තැම්බර් 11, 2019

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය (KDU) විසින් සංවිධානය කරනු ලබන 12 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව අද දින (සැප්තැම්බර් 11) කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ආරම්භ විය. අද දින උදෑසන ආරම්භ වූ දෙදින සමුළුවේ ආරම්භක සැසිය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා සහභාගී විය. කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය වෙත පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති එයාර් වයිස් මාෂල් සාගර කොටකදෙණිය මහතා විසින් පිළිගන්නා ලදී.

මෙම සමුළුව ලෝක මට්ටමේ සංසදයක් වන අතර විවිධ අංශවල වෘත්තිකයන් සහ පර්යේෂකයින් ඔවුන් විසින් සිදුකරන ලද වටිනා පර්යේෂණයන්හි ප්‍රතිඵලයන් එකිනෙකා අතර හුවමාරු කර ගැනීම සඳහා අවකාශය සපයනු ඇත. ‘නව තාක්‍ෂණය හමුවේ මානව වර්ගයාට ඇති අභියෝග’ යන තේමාව යටතේ මෙවර සමුළුව සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින තුල පැවැත්වේ. සමුළුවේ දී පූර්ව සම්මන්ත්‍රණ වැඩමුළු, පුර්ණ සැසිවාරයන්, පෝස්ටර් ඉදිරිපත් කිරීම්, ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයන ඇතුළු විෂයන් නවයක පෝස්ටර් ඉදිරිපත් කිරීම් සහ තාක්‍ෂණික සැසි, නීතිය, කළමනාකරණය, සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍ර, නිර්මාණ ශාස්ත්‍රය, පරිගණක තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව මූලික හා ව්‍යවහාරික විද්‍යාවන් සහ ඊට අනුබද්ධ සෞඛ්‍ය විද්‍යාවන් පිළිබදව වැඩමුළු පැවැත්වේ.

සමාරම්භය සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම්තුමන් විසින් පවසා සිටියේ මෙම සමුළුවේදී අනාවරණය කරගන්නා සහ හුවමාරු කරගන්නා වූ දැනුම උගත් ප්‍රජාවට පමණක් නොව සමස්ථ මානව  සංහතියටම ඔවුන්ගේ ජීවිත යහපත් කරගැනීමට ඉමහත් ප්‍රයෝජනයක් වනු ඇති බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්තුමන් පවසා සිටියේ වඩා හොඳ තීරණයන් ගැනීම සඳහා අපගේ මනස සකස් කරගැනීමට මෙවැනි සම්මන්ත්‍රණ මගින් ලබාගන්නා දැනුම ඉවහල් වන බවයි.

‍මෙම අවස්ථාව සඳහා කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ කුලපති අද්මිරාල් (විශ්‍රා) දයා සඳගිරි, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස්, ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) අනුරාධ විජේකෝන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, විද්වතුන් සහ කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ සහ අනෙකුත් සහභාගී වන්නන් විශාල පිරිසක් සහභාගී විය.