කාලගුණ අනාවැකි අනුව වැසි සහිත කාලගුණ තත්වයන්

සැප්තැම්බර් 12, 2019

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි වලට අනුව මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය අඛණ්ඩව පවතිනු ඇත. දෙපාර්තමේන්තුව විසින් අද (සැප්තැම්බර් 12) නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකි වලට අනුව, විශේෂයෙන් නැගෙනහිර, ඌව, මධ්‍යම හා උතුරු- මැද  පළාත්වල වවුනියාව සහ  මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බවයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්‍රදේශයන්හි ඇතැම් ස්ථාන වල මි.මී. 100 -150 ත් අතර තරමක තද වර්ෂාපතනයන් අපේක්ෂා කල හැක.

දිවයින අවට බටහිර සිට නිරිත දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය පැ. කිලෝමීටර 30-40 දක්වා වේගයකින් හමා එනු ඇතැයි අපේක්ෂා කෙරේ.

හම්බන්තොට සිට පොතුවිල් දක්වාද පුත්තලම, මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාද මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මි. 50-55 දක්වා රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවන්හිදී  තාවකාලිකව සුළගේ වේගය විටින් විට පැ.කි.මි. 70-80 අතර විය හැකි අතර ඉතා රළු මුහුදක්  අපේක්ෂා කළ හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂාව සලසා ගන්නා ලෙසත් තද වැසි අවස්ථාවන්හිදී ගෘහස්ථව රැදී සිටින ලෙසත් කිසි විටෙකත් ගස් යට නොසිටින ලෙසත් මහජනයා වෙත දන්වා සිටිනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවන්හිදී කුඹුරු,තේ වගාවන් සහ විවෘත ජල ආශ්‍රිත ප්‍රදේශවලින් ද මහජනතාව ඈත්වී සිටිය යුතු බවත් වැඩිදුරටත් දන්වා සිටි.

ගිගුරුම් සහිත වැසි අවස්ථාවන්හිදී  රැහැන්ගත දුරකථන සහ විදුලියට සම්බන්ධිත විදුලි උපකරණ භාවිතා කිරීමද වළක්වා ගත යුතු අතර ට්‍රැක්ටර්, බයිසිකල් සහ බෝට්ටු වැනි විවෘත වාහනවල ගමන් කිරීම ද සුදුසු නොවේ.