ත‍්‍රස්තවාදීන් විසින් රඳවාගෙන සිටි ප‍්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා කොළඹදී පුහුණු මෙහෙයුමක් දියත් කරයි.

සැප්තැම්බර් 14, 2019

මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ‘දියකාවා යුද අභ්‍යාසය – 2019’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් එක් මෙහෙයුමක් සිකුරාදා දින (සැප්තැම්බර් 13) කොලඹදී සිදු කර ඇත. බුද්ධි අංශ වාර්ථාවන්ට අනුව මහ බැංකුව සතුරු ත්‍රස්තවාදීන් විසින් ආක්‍රමණය කර සිවිල් වැසියන් හට වෙඩි තැබීම හේතුවෙන් ඔවුන් මරණයට හා තුවාල සිදු කර තිබීම නිසා ඔවුන් බේර ගැනීම සදහා මෙම මෙහෙයුම සිදු කර ඇත.

ත්‍රස්තවාදීන් 07-12 අතර ප්‍රමාණයක් ටී -56 ගිනි අවි, එල්එම්ජී ගිනි අවි, පිස්තෝල, අත් බෝම්බ, සැඟවුණු වෙඩික්කරුවන් සහ පුපුරණ ද්‍රව්‍ය වලින් සන්නද්ධව තම භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස්කිරිම සඳහා ඇමරිකානු ඩොලර් 100,000.00 ක කප්පමක් ඉල්ලා ඇත.

ඇතිවූ හදිසි තත්වයට ප්‍රතිචාර දක්වමින් භටයින් 08 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් 06 ක් එක් ගුවන් සංක්‍රමික බලකා කණ්ඩායමක් සහ තවත් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙහෙයුම සදහා සහභාගී විය. භට පිරිස් බෙල් 212 හෙලිකොප්ටරයක් ආධාරයෙන් ගොඩනැගිල්ලට ඇතුළු වූ අතර අනෙකුත් භටයින්හට සංග්‍රාමික යතුරු පැදි කරුවන් විසින් ආරක්ෂාව සපයන අතර තුර නාගරික සටන් පිළිබඳ විශේෂ  පුහුණුව ලත් විශේෂ බලකා සෙබළුන් ගොඩනැගිල්ල තුළ සිර වී සිටි බැංකු සේවකයින් බේරා ගැනීමට සමත්විය. මනා  සම්බන්ධීකරණය සිදු කරන ලද  මෙහෙයුම සාර්ථකව සිදු කල අතර සියලු ප්‍රාණ ඇපකරුවන් ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගැනීමට  භට පිරිස් සමත් විය.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අඛණ්ඩව 10 වන වරට සංවිධානය කරනු ලබන මෙම අභ්‍යාසය සදහා යුද්ධ හමුදා සාමාජිකයන් 2400ක්, නාවික හමුදා සාමාජිකයන් 400ක්ද,  ගුවන් හමුදා සාමාජිකයන් 200ක්ද, විදෙස් හමුදා සාමාජිකයන් හා නිරීක්ෂකයන් 100කට අධික සංඛ්‍යාවක් මේ සදහා සහභාගී වේ.