උදාරයි ඔබ සංගීත ප්‍රසංගය අති සාර්ථකව නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විනි

සැප්තැම්බර් 14, 2019

සංගීතයට පෙම්බැඳි සුවහසක් සංගීත ලෝලී රසික රසිකාවියන් වෙත මෙතෙක් නොලද නව සංගීතමය අත්දැකීමක් තිලිණ කරමින් "උදාරයි ඔබ" සංගීත ප්‍රසංගය අද (සැප්තැම්බර් 14) දින සවස නෙලුම් පොකුණ රඟහලේදී සාර්ථකව පවත්වන ලදී.

සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගායක ගායිකාවන් සහ නව පරපුරේ ගායක ගායිකාවන් සුසංයෝගයකින් සංගීතවත්වූ මෙතෙක් කිසිදා දක්නට නොලැබුණු අති විශිෂ්ට සංගීත ප්‍රසංගයක් පැමිණ සිටි ප්‍රේක්‍ෂකයන්ට රසවිදීමට අවස්ථාව සැලසිනි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහභාගී විය.

කථානායක කරු ජයසූරිය මහතාද විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන සෝනියා කොට්ටෙගොඩ මහත්මිය විසින් එම ස්ථානයට පැමිණි ගරු ජනපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

පිළිගැනීමේ දේශනය කරමින් කෝට්ටෙගොඩ මහත්මිය විසින් මෙම ව්‍යාපෘතියේ අරමුණවන රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව කෙටියෙන් විස්තර කලේය.

ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සෝනියා කොට්ටේගොඩ මැතිනියගේ සංකල්පයක් මත ත්‍රිවිධ හමුදා, පොලිසියේ  සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් උදෙසා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය අරමුදල් රැස්කරගැනීමේ අරමුණින් මෙම  සංගීත ප්‍රසංගය සංවිධානය කරන ලදී. යෝජිත ව්‍යාපෘතිය මගින් ආගන්තුක සත්කාර කළමනාකරණය,  භාෂා සහ තොරතුරු තාක්‍ෂණය යනාදී ක්ෂේත්‍රයන්ට අදාලව වෘත්තීය පුහුණුව ලබාදීමට අපේක්ෂා කෙරේ.

මෙම ප්‍රසංගයට ප්‍රවීණ සහ නව පරපුරේ ජනප්‍රිය ගායක ගායිකාවන් වන  ටී එම් ජයරත්න, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී,  කීර්ති පැස්කුවෙල්,  සුනිල් එදිරිසිංහ, සුජාතා අත්තනායක, භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, දීපිකා ප්‍රියදර්ශනී, ධනපාල උඩවත්ත, උමාරියා සිංහවංශ, ලතා වල්පොල, ධනුෂ දිසානායක, සහ සංඛ දිනෙත් යන කලාකරුවන් සහභාගී විය. ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කලාකරුවන් සහ සංගීත කණ්ඩායම්ද ප්‍රසංගය වර්ණවත් කිරීමට දායකත්වය ලබාදෙන ලදී.

ව්‍යාපාර ලෝකයේ නම් දැරූ  ආයතන ගණනාවක් සහ තනි පුද්ගල දානපතියන් රණවිරු සුබසාධනය උදෙසා සිදුකිරීමට යන මෙම වැඩසටහන වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය ලබා දී ඇත . එල් ඕ එල් සී හෝල්ඩින්ස් පීඑල්සී, ශ්‍රී ලංකා රක්‍ෂකණ සංස්ථාව, හේලීස් ඇඩ්වාන්ටිස් ලිමිටඩ්, ලාෆ්ස් ගෑස් පිඑල්සී, සීමාසහිත ලංකා පුවත්පත් (පුද්),ඩබ් ටී එස් ගෘප්, සීමාසහිත මෙට්‍රොපොලිටන් කොමියුනිකේෂන්ස් (පුද්)  ආයතනික අනුග්‍රාහකයන් වන අතර මධුර වික්‍රමරත්න මහතා, සුරේෂ් ප්‍රනාන්දු මහතා, චන්දි මහතා රොහාන් අතුරලිය මහතා ස්වේච්ඡාවෙන් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා පෞද්ගලික ධනය පරිත්‍යාග කල පරිත්‍යාගශීලීන්ගෙන් කිහිප දෙනෙකි.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්, එන්කේජීකේ නැම්මෙවත්ත මහතා, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ආර්ක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු, හිටපු හමුදාපතිවරු සහ විශේෂ ආරාධිතයින් රැසක් මේ අවස්ථාවට සහභාගී විය.