නෙළුම් කුලුන ජනපතිතුමන් අතින් විවෘත කෙරේ.

සැප්තැම්බර් 16, 2019

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ‘නෙළුම් කුළුණ’ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දින  (2019 සැප්තැම්බර් 16) විවෘත කරන ලදී.

අද සන්ධ්‍යාවේ පැවති විචිත්‍රවත් උත්සවයකදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දකුණු ආසියාවේ උසම කුලුන චාරිත්‍රානුකූලව විවෘත කරන ලදී.
 
එම ස්ථානයට පැමිණි අතිගරු ජනාධිපතිතුමන් ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

පිළිගැනීමේ කතාව ආරක්ෂක ලේකම්තුමන් විසින් සිදු කරන ලද අතර  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති වන්නේද එතුමන්ය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 104 මුදලක් වැයකර මෙම මීටර් 356 ක් උසැති කුලුන ඉදිකර ඇත.විදුලි සංදේශ සේවා, විකාශන සහ රූපවාහිනී සම්ප්‍රේෂණ පහසුකම් වලට අමතරව බහු ක්‍රියාකාරී කුළුණ තුල  අවන්හල් සහ ශ්‍රවණාගාර ද ඉදිකර ඇත.මීටර් 90 ක් පමණ උස කුළුණ  මුදුනේ ඇති ‘ඇන්ටෙනා කුළුණ’ රූපවාහිනී නාලිකා 20 ක්, එෆ්එම් රේඩියෝ නාලිකා 50 ක් සහ විදුලි සංදේශ සේවා සැපයීම සඳහා ඉදිකර ඇත.

නගරය තුල විශේෂිත වූ සලකුණක් වන්නේ කුලුනෙහි පස්වන අදියරේ ඉදිකර ඇති භ්‍රමණය වන අවන්හල හා  ඉහළින් ඇති පොහොට්ටුවක හැඩැති කොටසයි. පොළව මට්ටමේ සිට මීටර 244 ක් ඉහල නිරීක්ෂණ තට්ටුවේ සිට නරඹන්නන් හට  විශ්මයජනක අත්දැකීමක් ලබා ගත හැකිය.

මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කිරීම සදහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා චීන තානාපති අතිගරු චෙන්ග් ක්ෂූවාන් (Cheng Xueyuan) මහතා අතර  සමරු සිහිවටන හුවමාරුවක්ද සිදු විය.
www.lotustower.lk නෙළුම් කුළුණේ නිල වෙබ් අඩවිය ද ජනාධිපතිවරයා විසින් අන්තර්ජාලයට දියත් කරන ලදී
මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා විශේෂ සමරු මුද්දරයක් ද නිකුත් කරන ලදී.

නෙළුම් කුළුණ ඉදිකිරීමේ ව්‍යාපෘතිය සදහා අවශ්‍ය අරමුදල් සපයනු ලැබුවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ චීනයේ එක්සිම් බැංකුව විසිනි.

මෙම අවස්ථාවට කථානායක ගරු කරු ජයසූරිය මහතා, චීන තානාපතිතුමන්, මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජේෂ්ඨ රාජ්‍ය නිලධාරින්, යුධ සහ නාවික හමුදාධිපතිවරුන් සහ විශේෂ අමුත්තන් විශාල පිරිසක් සහභාගී විය.