ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයෙන් පසු ශ්‍රී ලංකා නාවික නෞකාවන් යලි දිවයිනට

සැප්තැම්බර් 16, 2019

ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය 2019 සඳහා සහභාගී වීම සඳහා මෙරටින් පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකාවන් පසුගිය සති අන්තයේ දී නැවත මෙරටට පැමිණියහ.

ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ සහ ‘සුරනිමිල’ යන නෞකාවන් එම පුහුණු අභ්‍යාසය සඳහා සහභාගී වීම සඳහා පසුගිය සැප්තැම්බර් 05 වන දින මෙරටින් පිටත් විය.

‘සිඳුරළ’ නෞකාව සෙනසුරාදා (සැප්තැම්බර් 14) දින ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනය වෙතත් ‘සුරනිමිල’නෞකාව ඉරිදා (සැප්තැම්බර් 15) දින කොළඹ වරාය වෙතත් ළගා විය. නෞකා ද්විත්වයම නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.

පුහුණු අභ්‍යාසය ඉන්දියාවේ විශාකාපට්නම් හිදී සැප්තැම්බර් 07 දින සිට 12 දින දක්වා පවත්වන ලදී. අභ්‍යාසය සඳහා ඉන්දියානු නාවික නෞකාවන වන ‘කුක්රි’ සහ ‘සුමේධා’ යන නෞකාවන්ද ශ්‍රී ලංකා නෞකාවන් සමග එක් වීය.

මෙම පුහුණු අභ්‍යාසය වෙරළ හා මුහුදු ක්‍රියාකාරකම් වලින් සමන්විත වූ අතර නාවික කටයුතු, යාත්‍රා කිරීම, සන්නිවේදනය, මුහුදේදී භාණ්ඩ හුවමාරු කිරීම සහ හෙලිකොප්ටර් ගොඩබෑම වැනි ක්‍රියාකාරකම් සිදු  කරන ලදී.