ආබාධිත රණවිරුවන්ගේ වැටුප් ගැටළු විසදීම සඳහා වන අනුකමිටු වාර්තාව අවසන් අදියරේ

සැප්තැම්බර් 18, 2019

ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රය - කොල්ලුපිටිය, හිදී ඊයේ දින (සැප්තැම්බර් 18) ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ආබාධිත හා මියගිය රණවිරුවන්ට වැටුප් හා දීමනා වයස අවුරුදු 55න් පසුවද ගෙවීම පිළිබඳව දැනුම් දීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මහතා පවසා සිටියේ ආබාධිත විශ්‍රාමික හමුදා සාමාජිකයින් පිරිසක් පසුගිය දින කිහිපයක සිට ඔවුන්ගේ වැටුප වයස අවුරුදු 55න් පසුවද අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ඉල්ලමින් විරෝධතාවයක් පවත්වාගෙන යන බවයි.

මේ සම්බන්ධයෙන් වන අනුකමිටු වාර්තාව සැප්තැම්බර් 16 වන දින ආරක්ෂක ලේකම් විසින් ජනාධිපති ලේකම් හරහා අතිගරු ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ජනපතිතුමන්ගේ අත්සනින් යුතුව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි. කැබිනට් මණ්ඩලය එහිදී මේ සඳහා සතියක කාලයක් ඉල්ලා ඇති බවත්, මීළග කැබිනට් රැස්වීමේදී එම කරුණු පිළිබඳව සලකා බලන බවත් සඳහන් කර ඇත.

ආරක්ෂක ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සහ යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම විරෝධතාකරුවන් හමුවී වාර්තාවන් හි ප්‍රගතිය පිළිබඳව දැනුම් දී ඇත.

මේ වන විට මෙම ක්‍රියාවළිය එහි අවසන් අදියර කරා ළඟා වී ඇති අතර ක්‍රියාවළිය නිම කිරීම සඳහා සාධාරණ කාලයක් අවශ්‍ය වන බැවින් විරෝධතාවයේ යෙදී සිටින ආබාධිත රණවිරුවන්ගෙන් සාමකාමීව විරෝධතාවය නතර කරන ලෙස ඉල්ලා සිටින ලදී.