ආබාධිත රණවිරු සංවිධාන නියෝජිතයින් සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) හමුවෙයි.

සැප්තැම්බර් 25, 2019

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උපවාසයේ නිරත රණවිරු සංගම් නියෝජිතයින් සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි අද සවස (සැප්තැම්බර් 24) ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) අනුරාධ විජේකෝන් මහතා ආරක්‍ෂක අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී හමුවිය.

එම අවස්ථාවේදී අතිරේක ලේකම් (ආරක්‍ෂක) අනුරාධ විජේකෝන් මහතා විසින් පවසා සිටියේ ආබාධිත වු ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් සඳහා ඔවුන් විශ්‍රාම ගිය පසුවද අවසන් වරට ලැබූ වැටුපට සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජිවත්ව සිටින තෙක් ලබාදීමට අනුමැතිය ලැබී ඇති බවයි.

මේ අනුව, ආබාධිත රණවිරුවෙකු විශ්‍රාම ගිය පසුව මෙතෙක් ගෙවන ලද විශ්‍රාම වැටුප හා අනෙකුත් දීමනා වෙනුවට ඔහු විශ්‍රාම යන අවස්ථාවේදී ලැබූ මුලික වැටුප හා සියලු දීමනා ඇතුලත් මාසික වැටුප සියලු ආබාධිත රණවිරුවන් හට ගෙවනු ලැබේ. අනුමැතිය ලබාදී ඇති ලිපියේ පිටපතක් අතුරලියේ රතන හිමියන් වෙත අතිරේක ලේකම් තුමන් විසින් භාර දෙන ලදි.

මෙම අවස්ථාවට හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ආරක්‍ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු, නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් අජිත් දිසානායක, සහකාර පොලිස් අධිකාරී (කොළඹ මධ්‍යම) මනෝජ් රත්නායක ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරින් සහභාගී විය.