ආබාධිත රණවිරු සංවිධාන නියෝජිතයින් ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) හමුවෙයි.

සැප්තැම්බර් 25, 2019

සමස්ත ලංකා දිවිපිදු හා ආබාධිත රණවිරු එකමුතුවේ සාමාජිකයින් අද දින  (සැප්තැම්බර් 25) ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) අනුරාධ විජේකෝන් මහතා ආරක්‍ෂක අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී හමුවිය.

එම අවස්ථාවේදී අතිරේක ලේකම් (ආරක්‍ෂක) අනුරාධ විජේකෝන් මහතා විසින් කැබිනට් අනුමැතිය හිමිවූ කැබිනට් පත්‍රිකාවේ අඩංගු වන කරුණු පිලිබදව සවිස්තරාත්මක විස්තර කිරීමක් සිදුකරමින් පවසා සිටියේ ආබාධිත වු ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් සඳහා ඔවුන් විශ්‍රාම ගිය පසුවද අවසන් වරට ලැබූ වැටුපට සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජිවත්ව සිටින තෙක් ලබා දීමට හිමි අනුමැතිය සැප්තැම්බර් 24 (2019) වන දින සිට ලැබී ඇති බවයි.

සමස්ත ලංකා දිවිපිදු හා ආබාධිත රණවිරු එකමුතුවේ සභාපති අනුර වැලිගමගේ විශ්‍රාම වැටුප් ගැටලුව විසදීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යංශය සිදු කල කාර්ය වෙනුවෙන් කෘතඥතාවය පල කල අතර අනුමැතිය හිමිවූ කැබිනට් පත්‍රිකාවේ අඩංගු වන කරුණු වලට අමතරව සිදු කල යුතු වෙනස්කම් පිළිබදව අදහස් දක්වමින් ඒ පිලිබදව අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින ලදී.

එම අවස්ථාවේ අදහස් දැක්වූ අතිරේක ලේකම්තුමන් වෙනස්කම් සිදු කරන ලෙස ඉල්ලා සිටි කරුණු පිලිබදව ක්‍රියා කල යුතු ආකාරය අවධානයට යොමු කරන බව පවසා සිටින ලදී. 

මෙම අවස්ථාවට හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු, හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ටී ජේ කොඩිතුවක්කු, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ විශ්‍රාම වැටුප් අංශ භාර නිළධාරින් සහ ජ්‍යේෂ්ඨ නිලධාරින් රැසක් සහභාගී විය.