රුපියල් මිලියන 750ක් වටිනා මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ අති නවීන උපකරණ චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට.

සැප්තැම්බර් 27, 2019

රුපියල් මිලියන 750ක් වටිනා මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ අති නවීන යන්ත්‍ර ඇතුළු සෝදිසි කිරීමේ උපකරණ චීන රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙන අතර එම උපකරණ චීන තානාපති Chang Xueyuan මහතා විසින් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි මෙම අති නවීන යන්ත්‍ර චීන රජය ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන අතර එවන් අති නවීන උපකරණ මත්ද්‍රව්‍ය වැටලීම් සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ යොදවා ගන්නා පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

මීටර් 05ක සීමාව ඇතුලත සිටින පුද්ගලයන් සහ භාණ්ඩ අතර සඟවා ඇති පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ස්වංයක්‍රීයව හඳුනා ගැනීම සඳහා සකස් කළ විශේෂ රොබෝ යන්ත්‍ර 03 ක් මෙම උපකරණ අතර වේ. එම එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 85.5 කි.

පුද්ගලයන් විසින් ශරිරයේ සගවා ගෙන පැමිණෙන පුපුරණ ද්‍රව්‍ය සහ අවිආයුධ ස්වයංක්‍රීයව හඳුනා ගැනිම සඳහා සකස් කළ එකක් රුපියල් මිලියන 90.5ක් වටිනා Explosive Detector යන්ත්‍ර 03ක් ද මේ අතර වේ.

ගමන් මලු සහ පාර්සල් ගමන් කරවීම මගින් එහි සගවා ඇති පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ස්වයංක්‍රීයව හඳුනා ගැනීම සඳහා සකස් කළ විශේෂ යන්ත්‍රයක් වන X-Ray Security Inspection System යන්ත්‍ර 50ක් ද මීට ඇතුළත් අතර එක් යන්ත්‍රයක් මිලියන 4.2ක් වන එම යන්ත්‍රවල මුළු වටිනාකම රුපියල් මිලියන 210.5කි.

අවි ආයුධ ක්ෂණිකව හඳුනා ගැනීමේ හැකියාව ඇති Walk Through Safety Inspection Gates යන්ත්‍ර 25 ක් ද චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන අතර එම උපකරණවල සමස්ත වටිනාකම රුපියල් මිලියන 6.5 කි.

වාහන ස්කෑන් කර එහි සගවා ගෙන එන පුපුරණ ද්‍රව්‍ය සහ අවිආයුධ එම වාහනය පරික්ෂා කරන නිලධාරියා හට ක්ෂණිකව හඳුනා ගැනීමේ හැකියාව ඇති Hand Held Vehicle Scanners යන්ත්‍ර 25 ක් ද මේ අතර වේ. එහි මුළු වටිනාකම රුපියල් මිලියන 3.2කි.

පුද්ගලයන් සඟවාගෙන යන අවි ආයුධ ක්ෂණිකව හඳුනා ගැනීමේ හැකියාව ඇති රුපියල් මිලියන 2.75ක් වටිනා Hand Held Metal Detectorයන්ත්‍ර 500ක් ද ආරක්ෂක අංශවල ප්‍රයෝජනය සඳහා චීනයෙන් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. චීන රජයේ විශේෂ නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය