නව පත්වීම් ලත් උපාධිධාරී ගුරුවරුන් වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩසටහන්

සැප්තැම්බර් 28, 2019

උතුරු නැගෙනහිර පළාත්වල අලුතින් බඳවා ගන්නා ලද උපාධිධාරී ගුරුවරුන් සඳහා ‘නායකත්වය, ධනාත්මක ප්‍රවේශයන් හා ආකල්ප’ පිළිබඳ දින පහක පුහුණු වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මෑතකදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිල වෙබ් අඩවියට අනුව සැප්තැම්බර් 20 දින සිට 26 දින දක්වා උපාධිධාරී ගුරුවරුන් 1139 දෙනෙකු සඳහා මෙම නේවාසික වැඩසටහන් යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථාන 5 කදී පවත්වා ඇත.

උතුරු නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙතින් සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙලෙස මෙම පුහුණු වැඩසටහන් පවත්වන ලදි.

පුහුණු වැඩසටහන් තුළින් උතුරු නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික් පදනම් කරගනිමින් බඳවා ගත් මෙම ගුරුවරුන් ‘නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීම’, ‘සමාජ විනය’, ‘නිපුණතා සංවර්ධනය’, ‘අභියෝගයන්ට මුහුණදීම සඳහා මානසික සංවර්ධනය’ සහ ‘ශාරීරික යෝග්‍යතාව’ යනාදිය ඇතුලත් පුහුණුවක් ලබා ඇත.

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය (120), කාලතුවක්කු පුහුණු පාසල (215), ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය (410), ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය (259) සහ කලත්තෑව සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානය (135) යන ස්ථානයන්හිදී මෙම පුහුණු වැඩසටහන් පවත්වා ඇත.