නාවික හමුදාව අපද්‍රව්‍ය නිසා අවහිර වූ පාලම් පිරිසිදු කරයි

සැප්තැම්බර් 30, 2019

පසුගිය සතිය තුළ ඇතිවූ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවන ලද ධාරානිපාත වර්ෂාවන් හේතුවෙන් බොහෝ ගංගාවල ජල මට්ටම ඉහළ යාම සහ පහත් බිම්වල තාවකාලිකව ගංවතුර තත්ත්වයන් දක්නට හැකිවිය. ගංවතුර බැස යාමේදී පාලම් හා බෝක්කු යට අපද්‍රව්‍ය සිරවීම නිසා ජලය පහසුවෙන් ගලා යාම වළක්වයි. මේ නිසා අවට පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තර්ජනයන් ඇති විය හැකිය.

එවැනි තර්ජනයන් වළක්වා ගැනීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව ඉරිදා (සැප්තැම්බර් 29) ගංවතුර නිසා අපද්‍රව්‍ය වලින් වැසී තිබූ ගාල්ල දොඩන්ගොඩ පාලම සහ වක්වැල්ල පාලම් පිරිසිදු කරන ලදී.

වර්ෂාව හේතු කරගෙන ඇතිවූ ගංවතුර තත්වය නිසා විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් ගිං ගඟට එකතුවීමෙන් ගිං ගඟ හරහා වැටී ඇති සමහර පාලම් අවහිර වී ඇත.

නාවික හමුදා කිමිදුම් සහ මැරීන් අංශයට අනුයුක්ත කණ්ඩායම් දෙකක් මගින් අපද්‍රව්‍ය ඉවත් කර ගංවතුර පහසුවෙන් ගලායාමට අවශ්‍ය ඉඩකඩ සලසාලීමට සමත් විය.

මේ අතර, කාලගුණ දෙපාර්තමේන්තු නවතම කාළගුණ අනාවැකි අනුව අද (සැප්තැම්බර් 30) සවස දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර වයඹ සහ මධ්‍යම පළාත්වල හා අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කහි සමහර ස්ථානවල මි.මී. 100 ට වඩා වැඩි තද වැසි ඇතිවිය හැක. අනෙකුත් ප්‍රදේශ වල මි.මී. 50 ට වඩා වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකිය.